2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

ශූරයන්ගේ කුසලාන තරගාවලියට ආබාධ කොක්කක්

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 171

මාලිංග - කුලසේකර ෂුවර් නෑ

එංගලන්තයේදී ලබන ජූනි මස පැවැත්වෙන අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ක‍්‍රීඩකයන් කීප දෙනකුම ආබාධ හේතුවෙන් ක‍්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව දැනගන්නට තිබේ.

ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග සංචිතයට ඇතුළත්ව සිටියද ඔහු ක‍්‍රීඩා කරනවාද නැද්ද යන්න පුහුණු තරගවලදී පන්දු යවන ආකාරය අනුව තීරණය වන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ද ප්‍රකාශ කර තිබිණි.

මාලිංග මේ වන විට අයි.පී.එල්. තරගාවලියට සහභාගි වී සිටින අතර ඔහු ආබාධය හේතුවෙන් එම තරගාවලියේද තරග කීපයකින් විවේක ගෙන සිටියි.  

ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නකු වන නුවන් කුලසේකර සහ මැද පෙළ පිතිකරු චාමර කපුගෙදර පස්පිඬු පෙරළීමේ ආබාධයන්ට ගොදුරුව සිටිති. එම ආබාධ හේතුවෙන් මේ දෙදෙනාම තරගවලට සහභාගි වීම අවිනිශ්චිත බව දැනගන්නට තිබේ. 

මෙම තත්ත්වය හමුවේ ඇතැම් ක‍්‍රීඩකයන්ට තරගාවලියට පිටත්ව යෑමට පෙර ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණවලටද පෙනී සිටීමට සිදුවී ඇති බව වාර්තා වේ. 

මාලිංග නැවතත් එක්දින සංචිතයට කැඳවීම ඉන්දියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මෙන් මාධ්‍ය සංදර්ශනයක් පමණක් වේ දැයි මේ වන විට සැක මතුවී තිබේ. 

ලෝක කුසලානයට පිටත්ව යන විට මාලිංග පැවසුවේ තමන්ගේ අකමැත්තෙන් තරගාවලියට සහභාගි කළ බවයි. එහිදී මාලිංග තරගවලට සහභාගි නොවී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට පියවර ගත්තේය.

මාලිංග පිළිබඳව කළ විමසුමේදී තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පැවසුවේ එක්දින තරගාවලියකට සහභාගි වීමට මාලිංග කැමැත්තෙන් බලා සිටින බවත් තරගාවලියට සහභාගි වන බවට ලිඛිතව දැනුම්දී ඇති බවත්ය. 

ශ‍්‍රී ලංකා පිල පසුගිය කාලයේ සහභාගි වූ තරගාවලිවල මෙන්ම මෙම තරගාවලියට නම් කර ඇති කණ්ඩායම ද ‘බරවා රෝගය’ වැළදුණු සංචිතයක් කිවහොත් එය නිවැරදිය. 

ශ්‍රී ලංකාව පසුගිය සංචාර කීපයකදීම භාග ක‍්‍රීඩකයන්ගෙන් ක‍්‍රීඩා කරමින් පත්වූ තත්ත්වය අපිට දැකගත හැකිවිය. සනත් ජයසූරිය ප‍්‍රමුඛ තේරීම් කමිටුව මේ දක්වා එයින් පාඩම් ඉගෙනගෙන නැති බව නම් පැහැදිලිය. 

බංග්ලාදේශ එක්දින තරගාවලියේදී රුය පහන්වන පමාවෙන් සංචිතයට කැඳවා තරගයටද සහභාගි වූ ටෙස්ට් පිලේ නිත්‍ය පිට දඟ පන්දු යවන්නා වන ඩිල්රැවන් පෙරේරා අතිරේක ලැයිස්තුවේ සිටියි.

ඩිල්රැවන් ටෙස්ට් තරග 16 කදී කඩුලු 75ක් දවා ගනිමින් සහභාගි වී ඇති එක්දින තරග 12 යේදී කඩුලු 13ක් දවාගෙන තිබේ. ඔහු දැන් පැවැත්වෙන අන්තර් පළාත් එක්දින තරගාවලියේදී ද තුන් ඉරියව් දස්කම් දක්වා තිබේ.  

වමතින් දඟ පන්දු යවන මිලින්ද සිරිවර්ධන පුහුණුවීමේ අතිරේක ලැයිස්තුවට ඇතුළත්කර තිබේ. 

ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, නිරෝෂන් දිල්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස් සහ චාමර කපුගෙදර පිතිකරුවන් ලෙස හඳුනාගැනීමේ අවස්ථාව තිබේ.

දිනේෂ් චන්දිමාල් නැවතත් සංචිතයට ඇතුළත් කිරීම හොඳ තීරණයක් වන අතර උප නායක උපුල් තරංගට කණ්ඩායමේ ස්ථානයක් තිබේද යන්න මෙහිදී ගැටලු මතුකරයි.  

ශ‍්‍රී ලංකා එක්දින සංචිතය:

ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, නුවන් ප‍්‍රදීප්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, ලක්‍ෂාන් සඳකැන් සහ සීකුගේ ප‍්‍රසන්න.

සංචාරයට සහභාගි වන අතිරේක ක‍්‍රීඩකයෝ: ඩිල්රැවන් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක

I සටහන: වරකාගොඩ ගමගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00