2022 අගෝස්තු 14 වන ඉරිදා

රත්තරන් වටින ලෝකඩ පදක්කමකින් රට සැරසූ නෙත්මි අහිංසා

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 418

නෙත්මි අහිංසා පෝරුතොටගේ.. ඇය ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ ලාබාල ක්‍රීඩිකාවකි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර තරගයේදී කාන්තා කිලෝග්‍රෑම් 57 බර පන්තිය යටතේ තරග වැදුණු අහිංසා එම තරගයෙන් ලෝකඩ පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකාවේ නම මල්ලවපොර ඉතිහාසයට එක් කළාය. මෙම තරගයේදී ඇය සමඟ තරග වැදුණු ඔස්ට්‍රේලියාවේ අයිරින් සයිමන්ඩ්ස් ක්‍රීඩිකාව සම්බන්ධයෙන් බොහෝ විචාරකයන් මෙන්ම බොහෝ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු තබා සිටියද අහිංසා එම බලාපොරොත්තු සුන්කොට දමමින් ලෝකඩ පදක්කම තම රට වෙනුවෙන් දිනා ගත්තාය. ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගත් පළමු කාන්තා මල්ලවපොර පදක්කම දිනාගනිමින් ශ්‍රී ලාංකික මල්ලවපොර ඉතිහාසයේ නව වාර්තාවක් තැබූ ඇය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පදක්කමක් දිනාගත් ලාබාලතම ලාංකික ක්‍රීඩිකාව ලෙසද ඉතිහාසයට එක්වූවාය.

ඇය කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙල්පල්ල ගම්මානයේ ජීවත් වන දැරියකි. දරුවන් හතර දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා වන්නේ ද අහිංසාය.

''අහිංසා කියන්නේ අපේ දෙවැනි දරුවා. අපිට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. පළමුවැනියා හා දෙවැනියා ගැහැනු දරුවන්. තුන්වැනියා පුතා. හතරවැනියාත් ගැහැනු දරුවෙක්. අහිංසා දූ පුංචි කාලේ ඉඳන්ම හැමදේටම දක්ෂයි. පොඩි කාලේ නම් දූ ටිකක් වසයි. කිසිම දේකට, කිසිම කෙනකුට එයා බය නැහැ. එයා හරි එඩිතරයි. හැබැයි පුංචි කාලේ ඉඳන් අහිංසා දූ බුදු දහමට ගොඩක් ලැදියි. පුංචි කාලේ ඉඳන් එයා ගමේ පන්සලේ දහම් පාසලට ගියා.'' නෙත්මි අහිංසාගේ මව වන රන්මලී ප්‍රියානි වසුන්දරා දේශයට අදහස් දක්වමින් එසේ පැවසුවාය.

ළමා කාලයේ සිටම අහිංසාට පුරුද්දක් තිබුණි. ඒ සෑම සතියකම ඉරිදා සවස ගමේ විහාරයට ගොස් විහාරය අතුපතු ගා මල් ආසන පිරිසුදු කිරීමය. අහිංසා එලෙස සිදු කරන්නේ දෙමව්පියන්ගේ බල කිරීමකට නොව සිය කැමැත්තෙනි. නිවෙසේ බුදු පහන තබන්නේද අහිංසාමය. සෑම දිනකම බුදු පහන තබා ඇය පැයක් පමණ වෙලාවක් ගත කරමින් ගාථා කියන්නීය. ඇය බුදු දහමට බොහෝ ලැදි දියණියකි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වීමට පෙර ඇය එක් ප්‍රාර්ථනාවක් පැතුවාය. ඒ තම දක්ෂතා වෙනුවෙන් පදක්කමක් ලැබුවොත් ලංකාවට පැමිණ රටේ තත්ත්වය මඳක් සමනය වීමෙන් පසුව කුරුණෑගල සිට නුවර දළදා මාලිගාව තෙක් පා ගමනින් ගොස් දළදා සමිඳු වැඳ පුදා ගැනීමය. ඇයගේ ප්‍රාර්ථනාව අද ඉටුවී තිබේ. එහෙයින් නොබෝ දිනකින් අහිංසා පා ගමනින් කුරුණෑගල සිට නුවර දළදා මාලිගාවට තෙක් ගමන් කරනු ඇත.

''පුංචි කාලේ ඉඳන් දූ ක්‍රීඩාවට දක්ෂයි. දවසක් දුවගේ හොඳම යාළුවෙක් වෙන චමෝද්‍යා දුව පාසලේදි මල්ලවපොර මාස්ටර් ගැන දුවට කියල තිබුණා. ඒ වෙද්දි චමෝද්‍යා දුව මාස්ටර්ගෙන් මල්ලවපොර ඉගෙන ගනිමින් හිටියෙ. අපේ දුවත් ඒකට කැමතිවෙලා තියෙනවා. දවසක් අපේ දුව ගෙදරදි මගේ ළඟට ඇවිත් මේ ගැන ඇහුවා. ඇත්තටම මම කැමති වුණේම නැහැ. ගැහැනු ළමයෙක්ට ඔය සෙල්ලම එච්චර හොඳ නැහැ කියලයි මම කිව්වෙ. රූ තාත්තගෙනුත් දුව ඇහුවා. පුතේ ඔයා ගැහැනු ළමයෙක්නෙ. ඒ නිසා එකපාරටම අපිට මේකට කැමැත්ත දෙන්න බැහැ. අපි මාස්ටර් එක්ක කතාබහ කරල ඒ ගැන තීරණය කරමු කියලයි අහිංසාගේ තාත්තා කිව්වෙ. ඒ නිසා දවසක් අපි මාස්ටර්ව මුණගැහුණා.'' මව කීවාය. 

අහිංසාගේ පියා වන නිශාන්ත පුෂ්පකුමාර අහිංසාට මෙම ක්‍රීඩාවට කරගෙන යාමට කැමැත්ත ලබා දුන්නේ මෙවැනි විශාල ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් නොවේ. ඒ වෙද්දී නෙත්මිගේ බර කිලෝග්‍රෑම් 68ක් විය. මෙවැනි ක්‍රීඩාවක යෙදෙමින් හෝ ලෙඩ දුක් නොමැතිව නිරෝගීව සිටීමට බර පාලනය කර ගැනීමට හැකිවේවි යැයි නිශාන්ත අපේක්ෂා කළේය. අහිංසාගේ මල්ලවපොර පුහුණුකරු වන සුරංග පුෂ්පකුමාර තම දියණියට නිශාන්ත බාර කළේ පුහුණුකරු සම්බන්ධයෙන් හිතේ ඇතිවුණු පැහැදීමත් සමඟය.

එතැන් සිට නෙත්මි අහිංසා සිය පුහුණුකරු වන සුරංග පුෂ්පකුමාර යටතේ මල්ලවපොර ක්‍රීඩා පුහුණුවීම්වල නිරත වූවාය. එය එතරම් ලෙහෙසි වූයේ නැත. ඔවුන්ට පුහුණු වන්නට නිසි තැනක් තිබුණේ නැත. ඔවුහු ලී කුඩු මත පුහුණුවීම් කළහ. පසුව ඔවුන්ට මෙට්ටයක් ලැබුණි. එය ද භාවිත කළ මෙට්ටයකි. ඔවුහු එය පන්සලේ තබා ගනිමින් පුහුණුවීම් කළහ. එය ද ලෙහෙසි වූයේ නැත. බොහෝ බාධක මැද ඔවුහු තම ජයග්‍රහණ කරා දවසින් දවස පා එසවූහ. පැමිණි බාධක පසෙකලා ඔවුහු තම පුහුණුවීම්වල නිරත වූහ. මල්ලවපොර ක්‍රීඩාවේ නිරත වීමට පෙර අහිංසා පාසලේදී දිවීම, යගුලිය විසිකිරීම වැනි තරගවලට සහභාගි වී ජයග්‍රහණ අත්පත් කරගෙන සිටියාය. ක්‍රීඩාවට මෙන්ම ඇය අධ්‍යාපනයට ද දස්කම් දක්වන සිසුවියකි. අපොස සාමාන්‍ය පෙළ ඉහළින් සමත්ව සිටින අහිංසා උසස් පෙළ සඳහා කලා අංශයෙන් ඉගෙනුම ලබන්නීය.

නෙත්මි අහිංසාගේ පියා පෙදරේරුවෙකි. දිනපතා ඔහුට රුකියාව තිබුණේ නැත. වැඩ කළ දිනවලදී දිනක වැටුප ලෙසින් ඔහු රුපියල් දෙදහස් පන්සීයක්, තුන්දහසක් පමණ උපයා ගත්තේය. එයින් හයදෙනෙක් ජීවත් වූහ. එය ලෙහෙසි වූයේ නැත. ආර්ථික අපහසුතා ද විය. පාසල් අධ්‍යාපනය ලබන දරුවන් තිදෙනකු ජීවත් වන පවුලක පියාගේ වැටුපෙන් පමණක් ජීවත් වීම ලෙහෙසි වන්නේ ද නැත. නමුත් නිශාන්තත් රන්මලීත් තම දරුවන් සිව්දෙනාව ආදරයෙන් රුකබලා ගත්හ.

''මගේ සැමියා මේසන් වැඩ කරන්නෙ. දවසකට එයාට රුපියල් තුත්දහසක් විතර හම්බවෙනවා. ඒ ලැබෙන සල්ලිවලින් ජීවිතේ කොහොම හරි ගෙවනවා. ආර්ථික අපහසුතා නැත්තෙමත් නැහැ. හැමදාම එයාට රස්සාව නැහැ. දුවට එයාගේ මාස්ටර් ගොඩක් උදව් කරනවා. අපිට අරගෙන දෙන්න බැරි දේවල් මාස්ටර් වගේම මාස්ටර්ගේ නෝනත් අරගෙන දෙනවා. ඒ දෙන්නගෙන් දුවට ගොඩක් උදව් ලැබුණා. මේ තරගයට යන්න දුව අමතර පිටි වර්ග, කෑම බීම ගත්තෙ නැහැ. එයා කෑවෙ බිව්වෙ ගමේ තියෙන කොස්, දෙල්, මඤ්ඤොක්කා, බතල වගේ දේවල්. පුහුණුවීම් කරන තැනට මාස්ටර්ම හදාගෙන ඇවිත් පිඟන්වලට දාලා මෙයාලට කන්න දුන්නා. ඒවා කාලා තමයි දුව මේ ජයග්‍රහණය ලබා ගත්තෙ. හැමදාම දුව පුහුණුවීම් කරන තැනට මට යන්න ලැබෙන්නෙ නැහැ. දරුවන් තව තුන්දෙනෙක් අපිට ඉන්නවා. එයාලගේ වැඩයි ගෙදර වැඩයි නිසා දුව එක්ක පුහුණුවීම් කරන තැනට යන්න බැහැ. හැබැයි මාස්ටර්ගේ නෝනා හැමවෙලේම ඒ පුහුණුවීම් කරන තැන හිටියා. ඉඳල හිටල ඒ පුහුණුවීම් කරන තැනට ගියාමත් මට බයක් දැනෙනවා. බිම දාගෙන පොරකද්දි එකපාරටම කෑගැහිලා හිටගැනෙනවා. ඔලුව කණුවකවත් වදීදෝ කියල මට බයයි.'' යැයි අහිංසාගේ මව කියයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් සුදුසුකම් ලැබූ පසු නෙත්මි අහිංසා තම පුහුණුකරු සමඟ කරන පුහුණුවීම් වැඩි කළාය. ඔවුහු බොහෝ උනන්දුවෙන් පුහුණු වූහ. වෙනදාට පාසල් ගොස් නිවෙසට පැමිණ පහහමාරට පමණ පුහුණුවීම් ආරම්භ කළද සුදුසුකම් ලැබූ පසු ඇයට සවස දෙකහමාරට පමණ පුහුණුවීම් ආරම්භ කිරීමට සිදුවිය. එතැන් සිට රාත්‍රී එකොළහහමාර දොළහ වනතුරු ඔවුන් පුහුණුවීම්වල යෙදුණු අතර රාත්‍රී කාලයේ නිවෙසට පැමිණෙන අහිංසා පාසල් පොත පතේ වැඩ කටයුතු කර නින්දට යන විට ඇතැම් දිනවල පසුදා පාන්දර දෙක තුන ද වී තිබුණි. පැයක් දෙකක් නිදාගත් අහිංසා අවදි වී ඉතිරි පාසල් වැඩ හමාර කොට පසුදා පාසලට ගියාය. ඇය ක්‍රීඩාවට මෙන්ම තම අධ්‍යාපන කටයුතුවලටද කැපවීම් කළේ ඒ ආකාරයටය.
දිනය අගෝස්තු මස 05 වැනිදාය. එය නෙත්මි අහිංසාගේ ජීවිතයේ වෙනස් කළ දිනයකි. ශ්‍රී ලංකාවට කීර්තියක් අත්පත් කර දුන් දිනයකි. කොස්, දෙල් කා හිත ගත සවිමත් කරගත් පුංචි කෙල්ලක විසින් ඔස්ට්‍රේලියාවේ දක්ෂ ක්‍රීඩිකාවක බිම හෙලූ දිනයයි. නෙත්මි එම තරගයට සහභාගි වෙද්දී ශ්‍රී ලංකාවට රාත්‍රිය උදා වී තිබුණි. ඒ වනවිට රන්මලීත් නිශාන්ත ඇතුළු අහිංසාගේ පවුලේ පිරිස සිටියේ නිවෙසේය. මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සජීවීව විදෙස් නාලිකා මගින් විකාශය කරමින් තිබිණි. එහෙත් ඒවා නැරඹීමේ හැකියාවක් රන්මලීට තිබුණේ නැත.

''නැන්දේ.. මෙන්න නංගිගේ ෆයිට් එක පෙන්නනවෝ..''

රන්මලීගේ නිවෙසට යාබද අහිංසාගේ නැන්දා පදිංචි වී සිටින්නීය. ඔවුන්ගේ රෑපවාහිනිය ඔස්සේ මෙම විදෙස් නාලිකා නැරඹීමේ හැකියාව තිබුණි. අහිංසාගේ නැන්දාගේ පුතාගේ කටහඬින් රන්මලීට කරකියා ගන්නට දෙයක් තිබුණේ නැත. ඒ වෙද්දී මුළු පළාතම කළුවර වී තිබුණි. සතා සර්පයන් නිදැල්ලේ කළුවරේ වනයේ එහා මෙහා යන මොහෙතකි. ඒ කිසිවක් රන්මලීට මතක තිබුණේ නැත. එක පිම්මට ඇය මහ කළුවරේ අහිංසාගේ නැන්දාගේ නිවසට දිව්වාය. එසේ දිව යද්දී වැලක පැටලී රන්මලී වරක් කැලෑවේ ඇදවැටිණි. නමුත් තම දියණියගේ ජයග්‍රහණය දැකගන්නට තිබුණු ඕනෑකම ඒ වේදනාව යටපත් කළේය. ඇය තරගය නැරඹුවේ කෑගසමිනි. උඩ පනිමිනි. තම කුසෙන් බිහි කළ, අනේක විධ වේදනාවන් විඳදරා ගනිමින් උස් මහත් කළ දියණිය ජයග්‍රහණය ලබද්දී ඒ මවගේ හිතට මොන තරම් සතුටක් දැනෙන්නට ඇතිද? ''අනේ මම ඕව බලන්න බෑ.. ඔයාලා දිනුම පැරදුම ඇවිත් කියන්න.'' කියමින් නිශාන්ත නිවෙසේ රුඳී දියණිය වෙනුවෙන් බුදු පහන ළඟ වාඩි වූවේය. අවසානයේදී නෙත්මි අහිංසා ලෝකඩ පදක්කම දිනාගත්තාය. සැබැවින්ම එය  ලෝකඩ පදක්කමක් නොව මෙරටට ලැබුණු රන් පදක්කමක් වැනිය.

''අද දැනෙන සතුට වචනවලින් කියාගන්න මට තේරෙන්නෙ නැහැ. දරුවා විඳපු දුකත් එක්ක මේ වගේ ගමනක් ගිය එක ගැන ඇත්තටම සතුටුයි. මොන තරම් ආර්ථික අපහසුතා තිබුණත් දරුවා පදක්කමක් දිනාගෙන ගෙදර එද්දි ඒ හැමදෙයක්ම අපිට අමතකයි. අපිට යම් පිරිසක් උදව් කරනවා. විශේෂයෙන් දුව මේ තැනට ගෙන ආ දුවගේ පුහුණුකරු සුරංග කුමාර මාස්ටර්වත් ඒ නෝනවත් මතක් කරන්නම ඕනෙ.'' යැයි නෙත්මි අහිංසාගේ මව වන රන්මලී ප්‍රියානි වැඩිදුරටත් පැවසුවාය.

 දිශානි ජයමාලි කරුණාරත්න