2022 නොවැම්බර් 06 වන ඉරිදා

ඉන්දියාවේ කෝලිට විනිසුරුවරුත් යටවෙලා?

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 429

වර්තමාන ලෝක ක්‍රිකට් පිටියේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන විරාට් කෝලි දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව ඇඩිලේඩ්හිදී පසුගිය බදාදා තරගයේදී ප්‍රදර්ශනය කළ ‘ව්‍යාජ පන්දු රැකීමේ’ සිද්ධිය මේ වන විට දැඩි කතාබහට ලක්ව තිබේ. 

බංග්ලාදේශ ආරම්භක පිතිකරු ලිංටන් දාස් ගැසූ පහර හතරේ සීමාව අසල අර්ෂ්දීප් සිං රැකගන්නා අතරවාරයේ පොයින්ට්හි පන්දු රකිමින් සිටි විරාට් කෝලි පන්දුව පන්දු යවන්නාගේ අන්තයට යොමු කරන්නාක් මෙන් රඟපෑමක් කළේය. එම රඟපෑම අවසන් වීමටත් පෙර අර්ෂ්දීප් සිං කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් කාර්තික් වෙතට පන්දුව යොමු කළේය. 

මෙහිදී ඕවර 16 කදී ලකුණු 151 ක් හඹා ගිය බංග්ලාදේශ පිල ලකුණු 5 කින් පරාජය වීමත් සමඟ කෝලිගේ රඟපෑම දැඩි කතාබහට ලක්ව තිබේ. 

එම ‘ව්‍යාජ පන්දු රුකීම’ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) නීති රීති පද්ධතියේ 41 වගන්තිය බිඳ දැමීමක් බවත් එහිදී විනිසුරුවන් දඬුවම් ලකුණු 5 ක් පන්දුවට පහර දෙන කණ්ඩායමට පිරිනැමිය යුතු බවත් බංග්ලාදේශය අයි.සී.සී.යට පැමිණිලි කර තිබේ. 

කෙසේ වෙතත් එම තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළ ක්‍රිස් බ්‍රවුන්ස් සහ මොරිස් එරස්මස් යන මහත්වරු එම සිද්ධියට කිසිදු පියවරක් ගැනීමෙන් තොරව තරගය අවසන් කළහ. 

ඇතැම් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයන් පවසන්නේ විනිසුරුවන් එම සිද්ධියේදී නීතිය ක්‍රියාත්මක කළේ නම් තරගයේ ප්‍රතිඵලය වෙනස් වීමට ඉඩ තිබූ බවයි. 

මෙම සිද්ධිය ඉන්දීය හිටපු ක්‍රීඩකයන් වන ඉන්දීය ජාතික ඇතැම් ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගේ ද විවේචනයට ලක්ව තිබේ. 

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයට එරෙහිව තරගයේදී නිපන්දුවක් පිළිබඳ විවාදාත්මක තත්ත්වයක් ඇතිවූ අතර එම සිද්ධියේ ද විරාට් කෝලි ‘ප්‍රධාන නළුවා’ විය. 

ඉන්දියාව හමුවේ විනිසුරුවන් සහ අයි.සී.සී. නිහඬ ප්‍රතිපත්තියක් අනුමනය කරන තත්ත්වයක් මේ වන විට ප්‍රදර්ශනය වේ. 

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන ‘සුපිරි 12’ වටයේ අවසන් මෙන්ම වඩාත් තීරණාත්මක තරගයට එංගලන්තයට එරෙහිව සෙනසුරාදා (5) සහභාගි වීමට නියමිතව තිබුණි. 

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව තරගය පිළිබඳව සියුම් හෝ බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් එංගලන්තයට එරෙහිව තරගය ජය ලැබීම අනිවාර්ය මෙන්ම පසුගිය සිකුරාදා දිනයේ දෙවැනි තරගය ලෙස පැවැත්වීමට නියමිතව තිබූ ඔස්ට්‍රේලියානු සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයෙන් ඔස්ට්‍රේලියාව පරාජය වීම ද අනිවාර්යෙන්ම සිදුවිය යුතුව තිබුණි. 

වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අතහැර දැමීමට සිදුවුවහොත් කණ්ඩායම් දෙකටම අවසන් පූර්ව බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවීමට විශාල ඉඩක් පැවතිණි. 

එම අනිවාර්ය සිද්ධීන් දෙක පිළිබඳව අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට ඇති ඉඩ ඉතාමත් අවම විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි තරගයේදී නවසීලන්තය හමුවේ ලැබූ පරාජය හේතුවෙන් මෙම තත්ත්වයට පත්වූ අතර එහිදී ලකුණු 104 ක් රුස් කළ ග්ලේන් පිලිප්ස් ලකුණු 12 ක් ලබා සිටියදී දුන් පහසු උඩ පන්දුව පැතුම් නිස්සංක වෙතින් ගිලිහී නොගියේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණි. 

මෙම සටහන තබන මොහොත වන විටත් නවසීලන්තය ප්‍රසාද ලකුණු 7 ක් හිමිකර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියේය. 

නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 5 බැගින් ලබා ශුද්ධ ලකුණු වේගය අනුව දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවූ අතර පළමු කාණ්ඩයේ පළමු සහ දෙවැනි ස්ථාන ශූද්ධ ලකුණු වේග අනුව තීරණය වන බවට ඉඟි පළ වී තිබුණි.  
ඉන්දියාව තරග හතරෙන් තුනක් ජය ලබා ප්‍රසාද ලකුණු 6 ක් ලබා දෙවැනි කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටි අතර ඉන්දියාව එම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට ඒමට වැඩි අවස්ථාවක් තිබුණි. 

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක්ම වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවීමෙන් තරගකාරීත්වයට බලපෑමක් ඇති විය. 

I සටහන: යොහාන් භාසුර