එංගලන්තයේදී ලබන ජූනි මස 01 වැනිදා ආරම්භ වන අටවැනි අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඩොලර් මිලියන 2.2ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 3345 ක ඇති දැවැන්ත මුදල් ත්‍යාගයක් ප්රදානය කිරීමට නියමිතය. අනුශූරයන්ට ඩොලර් මිලියන 1.1ක් හෙවත් රුපියල් ලක්ෂ 1672ක් හිමිවේ.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙවර ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග සඳහා පමණක් ඩොලර් මිලියන 4.5 ක් හෙවත් ලක්ෂ 6840 ක මුදලක් වෙන්කර තිබේ.
මෙහිදී අවසන් පූර්ව තරගයෙන් ඉවතට විසිවන කණ්ඩායම් දෙකට ඩොලර් ලක්ෂ 4.5 ක් (රුපියල් ලක්ෂ 684), බැගින්ද, කාණ්ඩ දෙකේ පළමු වටයේ තෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් දෙකට ඩොලර් 90,000 (රැපියල් ලක්ෂ 137) බැගින් ද, පළමු වටයේ සිවුවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් දෙකට ඩොලර් 60,000 (රැපියල් ලක්ෂ 93) බැගින් පිරිනැමේ.
එංගලන්තයේදී 2013 වසරේ පැවැති තරගාවලියේදී ප්‍රධාන කළ මුදල් ත්‍යාගවලට වඩා මෙවර ඩොලර් ලක්ෂ 5 ක මුදලක් හෙවත් රැපියල් ලක්ෂ 760ක් වැඩිකර තිබේ.
මෙම තරගාවලියට සහභාගි වීම සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ එංගලන්තය බලා පිටත්ව ගියේය. එම සංචිතයට ලසිත් මාලිංග හැරෙන්නට සෙසු ක්‍රීඩකයන් 16 දෙනා ඇතුළත්ව සිටියහ. එයට නිලධාරීහූ නව දෙනෙක් ද ඇතුළත් වූහ.
ලසිත් මාලිංග අයි.පී.එල්. තරගාවලිය අවසන් වීමෙන් පසුව එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වන අතර පසුගිය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී මෙන් අවසන් මොහොතේ ක්‍රීඩා කළ නොහැකි බව පැවැසුවොත් ඒ ගැන පුදුම විය නොහැක.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති සර්ව ආගමික වැඩසටහනකින් පසුව ශ්‍රී ලංකා පිල පිටත්ව ගියේය. ශ්‍රී ලංකා පිල අද සහ 23 වැනිදා ස්කොට්ලන්තයට එරෙහිව පුහුණු එක්දින තරග දෙකකට එංගලන්තයේදී සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකා පිල ඕස්ට්‍රේලියාවට එරෙහිව මේ මස 26 වැනිදා ද, නවසීලන්තයට එරෙහිව මේ මස 30 වැනිදා ශූරයන් කුසලාන තරගාවලියේ නිල පුහුණු තරග දෙකට සහභාගිවීමට නියමිතය.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය ජූනි මස 3 වැනිදා දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පිල පසුගිය ඉරිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති විශේෂ පුහුණු සැසිය අවසන් කර කොළඹට පැමිණි අතර එතැන් සිට ක්‍රීඩකයන්ට දින තුනක විවේකය කාලයක් ලැබුණි. නායක ඇන්ජලෝ මැත්ව්ස් විශේෂ පුහුණු සැසිය පිළිබඳව වඩාත් අගය කිරීමෙන් යුතුව අදහස් දක්වා තිබුණි.
යොහාන් භාසුර