ශ්‍රී ලංකා යොවුන් දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලෝක ක්‍රිකට් පිටියේ මේ දිනවල වඩාත් ජනප්‍රියම ක්‍රීඩකයා බවට පත්ව සිටියි. ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කරන මතීෂ දක්වන දස්කම් හේතුවෙන් ඔහු ඉන්දීය ක්‍රිකට් ලෝලීන් අතරද වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටී.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙක් වන ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට බෙහෙවින් සමාන ඉරියව්වකින් පන්දු යැවීම නිසා ක්‍රිකට් විචාරකයෝ 20 හැවිරිදි මතීෂ 'බේබි මාලිංග' ලෙස හඳුන්වති.
''මතීෂ ක්‍රීඩාව පටන් ගත්තා විතරයි. ඔහු තරගයෙන් තරගයට ඉතාමත්ව හොඳින් දියුණු වෙනවා. තරගයෙන් තරගයට ලැබෙන අත්දැකීම් එක්ක ඉදිරියට එයි. ඉදිරියේදී ලොකු වෙනසක් කරයි. චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ඉදිරි වසරවලදී ඔහුට විශාල සේවයක් කරන්න හැකියාව ලැබේවි යැයි මම විශ්වාස කරනවා'' යැයි ඉන්දීය හිටපු සුපිරි නායක, චෙන්නායි සුපර් කිංග්ස් පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි පවසා තිබුණි.
මතීෂගේ මෙම සාර්ථකත්වයේ දැවැන්තම කොටස්කරු මහේන්ද්‍ර සිං දෝනි බව අමුතුවෙන් කිවයුතු නැත. චෙන්නායි පිලේ පුහුණු පන්දු යවන්නෙක් පමණක්ව සිටි මතීෂ තරග දිනවන්නෙක් බවට පත්කිරීමේ සියලුම ගෞරව දෝනිට හිමිවිය යුතුය.
විස්සයි20 තරගයක අවසන් ඕවර 5 තුළ පන්දු යැවීම කොතරම් අසීරුද යන්න ක්‍රිකට් පිළිබඳව සුළු හෝ දැනුමත් ඇති කෙනෙක් වුවද හොඳින් දන්නා කරුණකි. එය එසේ වුවද මතීෂ චෙන්නායි පිලේ අවසන් ඕවර ක්‍රියාත්මක කරන සාර්ථකම පන්දු යවන්නා බවට මෙම සටහන තබන මොහොත වනවිට පත්ව සිටියේය.
ඩුබායිහිදී පසුගිය වසරේ (2022) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අගෝස්තු 27 වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිව විස්සයි20 වරම් ලැබුවද ඉන්පසුව ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි වූ අතර ඉන්පසුව පැවැති නවසීලන්ත සංචාරයට ඇතුළත්ව වුවද කණ්ඩායමේ ස්ථානය හිමි නොවීය. මතීෂගේ පන්දු යැවීම ඒ වනවිට පාලනයකින් තොර තත්ත්වයක පැවැති බව බොහෝ පුහුණුකරුවෝ පැවසූහ. එහි යම් සත්‍යයක් ඇති බවද කිවයුතුය.
කෙසේ වෙතත් ක්‍රිකට් අත්දැකීම් අතින් විශ්වවිද්‍යාලයක් බඳු මහේන්ද්‍ර සිං දෝනි මේ වනවිට මතීෂගේ පන්දු යැවීම නියමිත එල්ලයට ගෙන ඇති බව පැහැදිලිය. පන්දු යැවීමේ වේගය පැයට කිලෝමීටර 150 ක පමණ සාමාන්‍යයක් ඇති මතීෂ අයි.පී.එල්. තරගාවලියේදී යෝකර්, වයිඩ් යෝකර්, වේගය අඩාල කර යවන පන්දු ආදී ලෙස පන්දු මිශ්‍රණයකින් නියමිත එල්ලයට පන්දු යවමින් ලොව පුරා ප්‍රබල පිතිකරුවන් අපහසුතාවට පත්කිරීමට සමත්ව සිටියි. මෙම සටහන තබන මොහොත වනවිට ඔහු මෙවර අයි.පී.එල්. තරග 8 කදී කඩුලු 13ක් දවාගැනීමට සමත්ව සිටියේය.
චෙන්නායි පිල මෙවර තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කොල්කටා නයිට්රයිඩර්ස් යන කණ්ඩායම් දෙකට එරෙහිව ලැබූ ජයග්‍රහණ දෙකම මතීෂගේ දක්ෂ පන්දු යැවීමෙන් ලැබූ ජයග්‍රහණ බවට විවාදයක් නැත. එම තරගවලදී මතීෂ අඩු ලකුණු සංඛ්‍යාවක් පිතිකරුවන්ට දෙමින් කඩුලු දවාගැනීම කැපී පෙනුණි.
නවසීලන්ත හිටපු මැදපෙළ පිතිකරුවෙක් වන ස්කොට් ස්ටයිරිස් මතීෂගේ දස්කම් පිළිබඳව මෙසේ පවසා තිබුණි.
''මම හිතන්නේ මතීෂට මාලිංගටත් වඩා දක්ෂයෙක් වීමේ හැකියාව තියෙනවා. මතීෂ තවමත් ක්‍රීඩාව පටන්ගත්තා විතරයි. මෙය ඉතා විශාල ප්‍රකාශයක් බව මම දන්නවා. අද මතීෂ, මාලිංග වගේම පන්දු නොයැවුවත් ඉදිරියේදී අත්දැකීම් සමගින් මතීෂට මාලිංග වගේ වේගවත් සහ වේගය අඩාල කළ පන්දු යවන්න හැකියාව ලැබෙයි.''
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට දායාද කළ මතීෂ 2020 වසරේ පැවැති වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදීද කතාබහට ලක්විය. එහිදී මතීෂ පැයට කිලෝමීටර 175ක වේගයෙන් පන්දුවක් යවමින් ලෝක වාර්තාවක් පිහිටුවූ බවට පැවසුණි. කෙසේ වෙතත් එය තාක්ෂණික දෝෂයකින් සටහන් වූවක් බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුව නිවේදනය කළේය.
ක්‍රිකට් විස්තර විචාරකයෙක් වන මුරලි කාර්තික් පැවසුවේ මතීෂ පතිරණ දෝනිගේ දුරස්ථ පාලකයක් වීමෙන් දෝනි මතීෂගෙන් ඕන දේ කරගන්නා බවත් දෝනි වැනි ලෝක පූජිත නායකයෙක් යටතේ ක්‍රීඩා කිරීමට ලැබීම මතීෂ ලැබූ භාග්‍යයක් බවත්ය.
දෝනි තමන් නිර්මාණය කළ පන්දු යවන්නා ප්‍රයෝජනයට ගන්නා ආකාරයේද සැබෑ වෙනසක් තිබේ. මතීෂ පසුගිය 10 වැනිදා සහභාගි වූ දිල්ලි කැපිටල්ස් පිලට එරෙහි තරගයේදී චෙන්නායි පිලේ අවසන් පන්දු යවන්නා ලෙස කැඳවා 13 වැනි ඕවරය යැවූ මතීෂ පසුව 16, 18 සහ 20 වැනි ඕවර යවා ලකුණු 37 කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.
මතීෂ මීට පෙර ශ්‍රී ලංකාවේදී පුහුණුකරුවන් රැසක් යටතේ පුහුණුවීම් ලැබූ අතර අත කැරකැවීමෙන් තොර ''පන්දු යවන්නන්ගේ රජු'' ලෙස සැළකෙන ලසිත් මාලිංග යටතේද කෙටි කලක් පුහුණු විය. එම කිසිදු පුහුණුකරුවෙක් යටතේ මතීෂට මෙතරම් සාර්ථක වීමට නොහැකි විය.
ලසිත් මාලිංගද රාජස්ථාන් රෝයල්ස් පිල සමඟ අයි.පී.එල්. තරගාවලියේ කටයුතු කරමින් සිටියද මතීෂ සම්බන්ධයෙන් මාලිංගගේ ප්‍රකාශයක් නම් මේ දක්වා කණ වැටුණේ නැත.
මතීෂ, අයි.පී.එල්. තරගාවලිය අවසන් වීමෙන් පසුව අනිවාර්යයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙනවා ඇත. ඉන්පසුව ඔහු රුක බලාගෙන සම්පත් දායකයෙක් බවට පත්කර ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ වගකීමක් සහ යුතුකමකි.
♦ සටහන: යොහාන් භාසුර