2023 ජුලි 08 වන සෙනසුරාදා

චමරී: ලෝකෙට ලොක්කී

 2023 ජුලි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 156

''අයි.සී.සී. පිතිකාරියන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට එනවා කියලා කිසිම අවස්ථාවක මගේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ. දෙවැනි ශතකය ගහලත් මම එහෙම දෙයක් දැනගෙන හිටියේ නෑ. එය දැනගත්ත වෙලාවේ මට පුදුම සතුටක් ඇති වුණා. ශෂි අක්කා (හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන) මට සුබපතලා යොමුකර තිබූ එම්.එම්.එස්. එකකින් තමයි මම ඒක දැනගත්තේ. ඊට පෙර හර්ෂිතා මට ඡායාරූපයක් වට්ස්ඇප් එකට දාලා තිබුණත් මම ඒක සීන්කරලා නෑ.''

ශ්‍රී ලංකා ක‍්‍රිකට් නායිකා ප‍්‍රවේගකාරී පිතිකාරී චමරි අතපත්තු වර්තමාන ලෝක ක‍්‍රිකට් පිටියේ පිතිකාරියන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණ ඇතැයි දැනගත් ආකාරය එසේ ‘දේශය’ට පැවසුවාය.

නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පසුගිය සතියේ අවසන් වූ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී චමරි නොදැවී රැස්කළ ලකුණු 140 ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවක් ප‍්‍රදර්ශනය කළ අලංකාරම ඉනිම කිවහොත් එහි වරදක් නැත. චමරි එහිදී පන්දු 80ක් පමණක් ක‍්‍රීඩා කරමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 9ක් සමගින් නොදැවී ලකුණු 140ක් රැස්කිරීමට සමත් වූවාය. ඇය ශතකය රුස්කිරීමට මුහුණ දුන්නේ පන්දු 60කට පමණි.

ප‍්‍රබල නවසීලන්ත පිල විමතියට පත්කරමින් චමරි අතපත්තු රැස්කළ එම  ශතකය ලෝක කාන්තා එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ සිවුවැනි වේගවත්ම ශතකය බවට පත්විය. තවද මෙම ශතකය චමරිගේ 8 වැනි එක්දින ශතකය වන අතර ඇය මේ වනවිට ලෝක එක්දින පිටියේ වැඩිම ශතක ලාභිනියන් අතර පස්වැනි ස්ථානයේ සිටින්නීය. චමරි එම තරගාවලයේ පළමු තරගයේදීද නොදැවී ලකුණු 108 ක් රුස්කරමින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයට නව පරිච්ඡේද රැසක් එකතු කිරීමට සමත් වූවාය.
චමරි, කිසිදිනක වාර්තා පසුපස නොගිය සහ කණ්ඩායම වෙනුවෙන් සිය හැකියාවෙන් සියයට සියයක්ම ලබාදෙන ක‍්‍රීඩිකාවක් ලෙස ප‍්‍රසිද්ධියක් උසුළයි. ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම පසුගිය වසර 10ක පමණ කාලය තුළ ලැබූ ජයග‍්‍රහණවලින් සියයට 90 කට වැඩි සංඛ්‍යාවක් චමරිගේ දස්කම් හේතුවෙන්ම ලැබූ ඒවා බව අමුතුවෙන් කිවයුතු නැත. 

චමරි 2017 වසරේ කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ප‍්‍රබල ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව පන්දු 143කින් නොදැවී 178ක් රුස්කරමින් ලෝකයේ අවධානය දිනාගත් අතර ඇය 2019 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 113ක් රැස්කරමින් විස්සයි20 ජාත්‍යන්තර ශතක ලාභිනියක් බවටද පත්වූවාය.

මෙම ඉතිහාසගත අවස්ථාවේදී ඇයට ලැබුණු ප‍්‍රතිචාරයන් පිළිබඳව මෙසේ පැවසුවාය. 

''ඉන්දීය කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා මිතාලි රාජ්, එංගලන්ත සහ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම්වල වර්තමාන නායිකාවන්, ඒ වගේම අපේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පතාක යෝධයන් වන මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග වගේ බොහෝ දෙනෙක් මට කථාකරලා සුබ පැතුවා.''

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ඉබ්බාගමුව ප‍්‍රදේශයෙන් ජාතික කණ්ඩායමට පැමිණි චමරි මේ දක්වා පැමිණි ගමනද මල් පිරි මාවතක පැමිණි එකක් නම් නොවීය. දස්කම් දැක්වුවද ඇයට ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානයක් පවා හිමිනොවුණු අවස්ථාද තිබුණි. ඒවාට විවිධ හේතුද තිබුණි.

මෙම ශතකය රැස්කරන අවස්ථාව වනවිටත් ඇයගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ඇතැමුන්ට ගැටලුවක් පැවතුණි. නවසීලන්තයට එරෙහිව පළමු තරගයේදී ශතකය රැස්කිරීමෙන් පසුව ඇය සිය ‘උදරය’ පෙන්වීම පිළිබඳ කථාබහක් නිර්මාණය වී තිබුණි. 
ඇය ඒ පිළිබඳව මෙසේ අදහස් දැක්වූවාය.  

''ඇතැම් අය කියන්න ගත්තා මගේ ‘ෆිට්නස්’ නෑ කියලා. ඒකයි මම එහෙම දෙයක් කළේ. නමුත් මම නැවත එවැනි දේවල් කරන්නේ නෑ. ඒක කරපු දේ ගැන පස්සේ මට හිතුණා ඒක නොකර හිටිය නම් හොඳයි කියලා. මම තව වසර කීපයක් ක‍්‍රීඩා කරයි. ඒ වෙනකන් මම ‘ෆිට්නස්’ පිළිබඳව අවධානයෙන් ඉන්නවා. ප‍්‍රශ්න හදාගන්න ඕන නෑනේ'' යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙම දස්කම් නිසාම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වාර්ෂික කොන්ත‍්‍රාත්තුවේදී චමරිට සෙසු ක‍්‍රීඩිකාවන් මෙන් තුන් ගුණයකටත් වඩා ඉහළ අගයක් හිමිවේ.

I සටහන: යොහාන් භාසුර