තායිලන්තයේදී පැවැත්වෙන 24 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූරී නදීෂා රාමනායක මීටර 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගනිමින් වසර 14 කට පසුව ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට කාන්තා ඉසව්වකින් රන් පදක්කම් ගෙන ඒමට පසුගිය බ්‍රහස්පතින්දා (13) සමත් වූවාය.
නදීෂා හිමිකරගත් මෙම රන් පදක්කම ශ්‍රී ලංකාව ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියකදී මීටර 400 කාන්තා ඉසව්වෙන් වසර 23 කට පසුව දිනාගත් රන් පදක්කම වීම කැපී පෙනේ.
හිටපු කෙටිදුර ධාවන ශූරී දමයන්ති දර්ශා 2000 වසරේ ජකාර්තා නුවරදී පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ආසියානු වාර්තාවක් පිහිටුවමින් අවසන් වරට මීටර 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගෙන තිබුණි. දර්ශා එහිදී පිහිටු වූ වාර්තාව මේ දක්වා බිඳ දැමීමට නොහැකි වීමද කැපී පෙනේ.
නදීෂා රාමනායක එහිදී තත්පර 52.61ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ ඇයගේ හොඳම තරග නිමි කාලයද වාර්තා කළාය. 29 හැවිරිදි වියේ පසුවන නදීෂා වීරකැටිය රාජපක්ෂ මැදි මහ විදුහලේ ආදි ශිෂ්‍යාවකි.
මෙම සටහන තබන මොහොත වනවිට ශ්‍රී ලංකාව මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට සමත්ව සිටියේය.
සටහන: යොහාන් භාසුර