ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට දින කිහිපයක් තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරණ ආබාධයටම මුහුණ දී සිටියේය. එනම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයන් කිහිප දෙනකු මේ වන විට ආබාධයන්ට ලක්ව සිටීමය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නකු වන දුෂ්මන්ත චමීර ආබාධයක් හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් කර තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත් අතර ශ්‍රී ලංකා පිලේ ප්රබලතම දඟ පන්දු යවන්නා වන ආබාධයකට ලක්ව සිටින වනිඳු හසරංග ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතය.
ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා තවදුරටත් ආබාධිත තත්ත්වයක පසුවුවද ඔහු ආසියානු කුසලාන තරගාවලියට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙක් පැවසීය.
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ ශූරතාව දිනූ බී - ලව් කැන්ඩි පිල නියෝජනය කළ දුෂ්මන්ත චමීර එම තරගාවලියට සහභාගි වෙමින් සිටියදී උරහිස ආබාධයකට ලක්වීමෙන් තරග කිහිපයකට සහභාගි වීමට නොහැකි විය.
වනිඳු හසරංග එල්.පී.එල්. තරගාවලියට සහභාගි වෙමින් සිටියදී පාදයේ ආබාධයකට ලක්වූ අතර වනිඳු එම ආබාධය තිබියදීම අවසන් පූර්ව තරගයට සහභාගි විය. එසේ වුවද වනිඳුට අවසන් මහා තරගයට සහභාගි වීමට වරම් නොලැබුණි.
ආසියානු කුසලාන තරගාවලියට වඩා ලබන ඔක්තෝබර් මස ඉන්දියාවේදී ආරම්භ වන එක්දින ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමුකර තිබේ. ඒ අනුව දුෂ්මන්තට මෙන්ම වනිඳුට ද ආසියානු කුසලාන තරගාවලිය අහිමිවීමට බොහෝ දුරට ඉඩ තිබේ.
ශ්‍රී ලංකාවට ආසියානු කුසලාන තරගාවලියේදී යොදාගැනීමට තරුණ වේග පන්දු යවන්නන් සොයාගැනීමේ කිසිදු ගැටලුවක් නොවේ. කසුන් රාජිත, ළහිරු කුමාර, මතීෂ පතිරණ, ප්‍රමෝද් මධුෂාන්, බිනුර ප්‍රනාන්දු සහ ළහිරු සමරකෝන් යන තරුණ වේග පන්දු යවන්නෝ එල්.පී.එල්. තරගාවලියේදී දස්කම් අතරට පැමිණීමට සමත් වූහ.
නායක දසුන් ශානක සහ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් යන ක්‍රීඩකයන්ට වේග පන්දු යවන්නන් ලෙස ඕවර කිහිපයක් යැවිය හැකි නිසා වේග පන්දු යවන්නන් පිළිබඳව ගැටලුවක් ඇති නොවනු ඇත.
එය එසේ වුවද වනිඳු වැනි සටන්කාමී දඟ පන්දු යවන්නකු ශ්‍රී ලංකා භූමිය තුළ වර්තමානයේ නොමැත. ඒ නිසාම වනිඳු ලෝක කුසලානය සඳහා ආරක්ෂා කිරීමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සතු වගකීමකි.
මෙම සටහන තබන මොහොත වන විට ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා අවසන් සංචිතය නම් කර නොතිබුණු අතර සංචිතය පුහුණුවීම් ආරම්භ කර තිබුණි.
ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ සියලුම පිතිකරුවන් පුහුණු සැසිවලට සහභාගි වන බවත් සියලුම පිතිකරුවන් හොඳ ශාරීරික යෝග්‍යතාවයෙන් පසුවන බවත් කණ්ඩායමේ නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රධාන තරගාවලි දෙකකට සූදානම් වන පසුබිමක් තුළ පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී පැවැත්වීම කැපී පෙනුණි.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කළ වියදම් පිළිබඳව විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මන්ත්‍රීන් රුසක්ම ඊට සහාය දැක්වූ අතර නාමල් රාජපක්ෂ, දයාසිරි ජයසේකර සහ කුමාර වෙල්ගම ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනාවට සහාය නොදක්වන ආකාරයෙන් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකිවිය.
රුපියල් කෝටි ගණනක වත්කම් උපයා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන බලය ගැනීමට සැඟවී සිටින බලවේග කටයුතු කරන්නේ යැයි වසර කිහිපයක සිට සමස්ත ක්‍රිකට් ප්‍රජාවටම ප්‍රසිද්ධ රහසකි.
I යොහාන් භාසුර