2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

දසුන් ශානක ඉවත්වීම: ජිමික් වැඩක්!

 2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, ප.ව. 01:59 163

ඉන්දියාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව තරගය පරාජය වීමත් සමඟ ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක ආබාධයකට ලක්වීමෙන් නායකත්වයෙන් පමණක් නොව සංචිතයෙන්ද ඉවත්වීමට සිදුවිය.

දසුන් ශානක තවදුරටත් ඉන්දියාවේ රැඳී සිටීමත්, ඔහුට බරපතළ ආබාධිත තත්ත්වයක් නොමැති බවට වෛද්‍යවරු පැවසීමත් සමග දසුන් සම්බන්ධයෙන් ආබාධයකට එහා ගිය කතාවක් ඇති බවට බොහෝ දෙනෙක් තුළ සැකයක් මතු වී තිබේ. ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම තෝරන අවස්ථාවේදීම දසුන් නායකත්වයෙන් ඉවත් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක වූ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් දසුන්ට තවදුරටත් නායකත්වය හිමි විය. 

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලි අතරතුරදී නායකයන් වෙනස් කර ශූරතාව දිනාගත් ඉතිහාසයකට හිමිකම් කියන අතර ශ්‍රී ලංකාව ශූරයන් වූ බංග්ලාදේශයේදී 2014 වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයකින් පසු නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් ඉවත්කර ලසිත් මාලිංග නායකත්වය ලබාගත් සිද්ධිය තවමත් අපගේ මතකයේ තිබේ. එහිදී චන්දිමාල් නායකත්වයෙන් ඉවත් කිරීමේ හේතුව වූයේ ඔහු දස්කම් අතර නොසිටීමය.

මෙවර පාකිස්තානයට එරෙහිව තරගයේදී දසුන් වෙත ලැබුණු උපදෙස් ක්‍රියාත්මක නොවූ බවටත් ඔහු පන්දු යවන්නන් කළමනාකරණය කළ ආකාරය පිළිබඳ ගැටලුවක් තිබූ බවත් ඇතැම්හු පවසති. පාකිස්තානයට එරෙහිව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 344 රැස් කළද, එම ලකුණු ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අසමත් වූහ. එහිදී පාකිස්තානු පිතිකරුවන් පාලනය කිරීමට සහ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ක්‍රමානුකූලව යොදා ගැනීමට ක්‍රීඩාගාරයෙන් ලැබුණු උපදෙස් කිහිපයක්ම ක්‍රියාත්මක වී නොමැති බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.

මොහොමඩ් රිස්වාන් වේගයෙන් පන්දුවට පහර දෙන අවස්ථාවේදී දුනිත් වෙල්ලාලගේ පන්දු යැවීම නවතා ඩිල්ෂාන් මධුසංඛ පන්දු යැවීමට යොදවන ලෙස උපදෙස් ලැබුණු බවත් කෙසේ වෙතත් එය ක්‍රියාත්මක නොවූ බවත් දැනගන්නට තිබේ. තවද දසුන් ශානකට ඕවර කීපයක් එක දිගට ක්‍රියාත්මක කරන ලෙස ක්‍රීඩාගාරයෙන් උපදෙස් ලැබුණු බවද පැවසේ. කෙසේ වෙතත් දසුන් පළමු කැඳවීමේදී ඕවර 4ක් එක දිගට යවා තිබුණි.

මෙම තරගයේදී මතීෂ යැවූ ඕවර 9ට ලකුණු 90ක් රැස්කිරීමට පාකිස්තානු පිතිකරුවන් සමත් වීමෙන් අයි.පී.එල්. තරගාවලියේදී ඔහු ලබාගත් කීර්තිනාමයට දැඩි කැළලක් විය.

ලෝක පූජිත ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි සිය ක්‍රිකට් දැනුම මත නිර්මාණය කරගත් පන්දු යවන්නෙක් වන මතීෂ පතිරණ කළමනාකරණය කිරීමේ වෙනමම ආකාරයක් ඇති බව ක්‍රිකට් දැනුම ඇත්තෝ පවසති.

පාකිස්තානයට එරෙහිව තරගයේදී මතීෂ පතිරණ පළමු කැඳවීමේදී ඕවර 4ක් එක දිගට ක්‍රියාත්මක කළ අතර ඊළඟ කැඳවීමේදී ඕවර දෙකක්ද, ඉන්පසුව වරින්වර ඕවරයක බැගින් ඕවර 3ක්ද ක්‍රියාත්මක කළේය. මතීෂ පතිරණ ඉතාමත් පරිස්සමින් පන්දු යැවීමට යොදා ගතයුතු බවත් ඔහුට වරකට ඕවර දෙකකට වැඩියෙන් ක්‍රියාත්මක කිරීමට නොදිය යුතු බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ මතය බවත් දැනගන්නට තිබේ.

මෙම තරගය අතරතුරදී ශ්‍රී ලංකා පිලේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන හතරේ සීමාව අසලට පැමිණ උපදෙස් දෙන ආකාරයක්ද දැකිය හැකි විය.

දසුන් ශානක ආබාධයක් හෝ එසේත් නැත්නම් වෙනත් හේතුවක් මත මේ වනවිට නායකත්වයෙන් ඉවත් කර අවසන්ය. නව නායක කුසල් මෙන්ඩිස්ද වයස අවුරුදු 14 සිට විවිධ වයස් කාණ්ඩවල ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කර ඇති අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා පිලේ නායකයා කවුරුන්ද යන්න ගැටලුවක් කර ගැනීමකින් තොරව ක්‍රීඩාව ඉදිරියට ගෙනයාම ක්‍රීඩකයන්ගේ වගකීම වේ.

I යොහාන් භාසුර, ලක්නව් නුවර සිට... 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00