2017 ජුනි 10 වන සෙනසුරාදා

ලන්ඩන් ප්‍රහාරය වෙලාවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ රෑ කෑමකට ගිහින්!

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 134

ලන්ඩන් නුවර සුප‍්‍රසිද්ධ පාලම අසලදී සහ සුප‍්‍රසිද්ධ වෙළෙඳ මධ්‍යස්ථානයක් වන බරෝ මාර්කට් යන ස්ථානවලදී පසුගිය සෙනසුරාදා රාත‍්‍රී ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් රැසක් රාත‍්‍රී ආහාරය ලබා ගැනීම සඳහා ලන්ඩන් නගරයේ රැඳී සිටි බව වාර්තා වේ. 

ශ්‍රී ලංකා පිලේ කළමනාකාරිත්වය ප‍්‍රහාරය පිළිබඳව දැනුවත් වූ වහාම ක‍්‍රීඩකයන් හෝටලයට ගෙන්වාගෙන තිබේ. 

හෝටලයෙන් ලැබෙන කෑම වර්ග ඒකාකාරී වීම නිසා ක‍්‍රීඩකයන් නගරයේ වෙනත් ස්ථානවලින් ආහාර ලබාගැනීමට පුරුදුව සිටි බවත් ප‍්‍රහාරයෙන් පසුව හෝටලයෙන් පිටතට යෑම තහනම් වූ බව දැනගන්නට තිබේ. 

ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර තරගය පැවැති පසුගිය සෙනසුරාදා රාත‍්‍රී මෙම ප‍්‍රහාරය එල්ල වූ අතර රාත‍්‍රී 10ත් 11ත් අතර කාලය තුළ ප‍්‍රහාරය එල්ල වී ඇති බව විදේශ වාර්තා සඳහන් කරයි. 

ප‍්‍රහාරය එල්ල වූ ලන්ඩන් බ්‍රිජ් ප‍්‍රදේශය සහ ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලය අතර දුර කිලෝමීටරයකට අඩු බව වාර්තා වේ. වාසනාවකට ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට කිසිදු බලපෑමක් නොවූ අතර ශ්‍රී ලංකා පිලේ සියලුම සාමාජිකයන් පසුව නින්දට ගිය බව වාර්තා වේ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිල මීට වසර කීපයකට පෙර පාකිස්තානයේදී දරුණු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකට මුහුණ දුන් අතර එහිදී ක‍්‍රීඩකයෝ කීපදෙනෙක් තුවාල ලැබූහ. 

මෙම ප‍්‍රහාරය එල්ල වන දිනය දක්වා ශ්‍රී ලංකා පිලට බස් රථයේ ආරක්‍ෂාව පමණක් ලැබී තිබූ බව වාර්තා වන අතර ඉන් පසුව ආරක්‍ෂාව වැඩි කිරීමට පියවර ගත්තේ ද යන්න පිළිබඳව දැනගන්නට නොලැබුණි. 

එංගලන්තයෙන් ලැබුණු ආරංචි මාර්ගවලට අනුව එංගලන්ත ආරක්‍ෂක අංශ ඇතැම් ආරක්‍ෂක පියවර රහසිගතව සිදු කරන බව කියති. ත‍්‍රස්තවාදීන් පළමුව ආරක්‍ෂක හමුදාවට හෝ පොලිසියට පහරදී පසුව සෙසු ඉලක්කවලට පහරදීම වැළැක්වීමට එම පියවර අනුගමනය කරන බව වාර්තා වේ. 

එම ආරක්‍ෂක පියවර හේතුවෙන් ලන්ඩන් පාලම අසළ ප‍්‍රහාරයට පැමිණි ත‍්‍රස්තයන් විනාඩි කීපයක් තුළ පාලනය කිරීමට හැකි වූ බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණි. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිලේ කළමණාකරු රංජිත් ප‍්‍රනාන්දු මහතා පසුදින උදෑසන විට විදේශ මධ්‍ය වෙත පවසා තිබුණේ ශ්‍රී ලංකා පිල ආරක්‍ෂිතව සිටින බවයි.  ඕස්ට්‍රේලියානු කණ්ඩායම් කළමණාකරිත්වය පසුදින පස්වරුව වන විට පවසා තිබුණේ ආරක්‍ෂාව පිළිබඳව සෑහීමට පත්වන බවයි. 

සටහන: විශේෂ වාර්තාකරුවකු විසිනි

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00