එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ කුසලානය නැවතත් රැගෙන යෑමට පැමිණි ඉන්දීය පිල දැඩි අවිනිශ්චිත තත්ත්වයකට ඇද දමමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පසුගිය බ‍්‍රහස්පතින්දා රාත‍්‍රී පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ. ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග‍්‍රහණයත් සමඟ ‘බී’ කාණ්ඩය වඩාත් තරගකාරී වෙමින් ඉදිරි තරග දෙක අර්ධ අවසන් පූර්ව තරග බවට පත්විය. ‘බී’ කාණ්ඩයේ කණ්ඩායම් හතරම තරගය බැගින් ජය ලබා සිටීම ඊට හේතුව විය.
ශ්‍රී ලංකා පිල ඉන්දීය පිලට එරෙහිව ලැබූ කඩුලු 7 ක ජයත් සමඟ හෙට (12) කාඩිෆ්හිදී පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ජය ලබන කණ්ඩායමට අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවේ. ඉන්දියාව සහ දකුණු අප‍්‍රිකාව අතර අද (11) පැවැත්වෙන තරගයෙන් ජය ලබන කණ්ඩායම ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම බවට පත් වන අතර ඉන්දියාව අනපේෂිත ලෙස තරගාවලියේ මූලික වටයෙන් ඉවතට විසිවීමෙන් වැළැකීමට නම් මේ තරගය ඉන්දියාව විසින් ජයගත යුතුමය.
මෙම තරගාවලිය ආරම්භ වන විට එක්දින ශ්‍රේණිගත කිරීමේ 7 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා පිල මෙම ජයග‍්‍රහණයත් සමඟ 6 වැනි ස්ථානය තහවුරු කරගත්තේය. බංග්ලාදේශය යළි 7 වැනි ස්ථානයට පසු බැස සිටියේය.
කුසල් මෙන්ඩිස් (89) සහ ධනුෂ්ක ගුණතිලක (76) දෙවැනි කඩුල්ලට පැවැත්වූ ලකුණු 159 ක අති විශිෂ්ට සම්බන්ධතාව මෙම පෙරළිකාර ජයග‍්‍රහණයේ ප‍්‍රධානතම සාධකය බවට පත්විය. කුසල් ජනිත් පෙරේරා පන්දු 44 කින් ලකුණු 47 ක් ලබා සිටියදී මස්පිඬු පෙරළීමේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වූ අතර හෙට තරගයට ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිතය.
ඉන්දියාව පරදවා අපි දිනනු ඇතැයි කවුරුත් හිතුවේ නෑ - මැතිව්ස්
ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 52) සහ අසේල ගුණරත්න (නොදැවී 34) ලකුණු අතර රැඳෙමින් තරගය අවසන් කළහ. මෙහිදී ශ්‍රී ලංකාව ලකුණු 322 ක ඉලක්කයක් හඹා යෑම මෙහිදී කැපී පෙනුණි. නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මාස නවයකට අධික කාලයකට පසු මෙම තරගයේදී නායකත්වයේ කටයුතු කරමින් ජයග‍්‍රහණයෙන් තරගය කෙළවර කළේය. ශුරයන්ගේ කුසලාන තරගාවලියේ ඉහළම ලකුණු හඹාගොස් ජයලැබූ කණ්ඩායම ශ්‍රී ලංකාවයි.
එහිදී ඉන්දීය පිතිකරුවන් වේගපන්දු යවන්නන්ට දැඩිව පහර දෙද්දී මඳ වේග පන්දු යවන අසේල ගුණරත්නට ඕවර 7 ක් ඉතිරිව තිබියදී අවස්ථාව නොදීම කැපී පෙනුණි. අසේල ඕවර තුනකදී ලකුණු 7 කට යුවරාජ් සිං දවා ගත්තේය.
චාමර කපුගෙදර පුහුණුවීම්වලදී නැවතත් ආබාධයකට ලක්වීමෙන් එම ස්ථානයට ධනුෂ්ක ගුණතිලක කැඳවීම මේ තරගයේ ප්‍රතිඵලයට මෙහෙවින් දායක විය.
ශ්‍රී ලංකා පිල පළමු තරගයට කිසිදු සූදානමකින් තොරව යන්නන් වාලේ සහභාගි වී සිටින බව දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැති තරගයේ ක‍්‍රීඩා අකාරයෙන් මනාව පැහැදිළි විය. දකුණු අප‍්‍රිකාවට එරෙහිව පසුගිය සෙනසුරාදා ලන්ඩන් නුවරදී පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 96 කින් පරාජයට පත්විය. ශ්‍රී ලංකා පිල දකුණු අප‍්‍රිකානු පිල පිළිබඳව හොඳ අවබෝධයකින් සහ පූර්ව සූදානමකින් එම තරගයට සහභාගි වූයේ නම් එහි ප‍්‍රතිඵලය විය යුතු වූයේ ශ්‍රී ලංකාව ජය ලැබීමය.
මේ අතර තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී නායක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කළේ ශ්‍රී ලංකාව මේ තරගයේදී ඉන්දියාව පරාජය කර ජයගනු ඇතැයි කිසිවකුත් අපේක්ෂා නොකළ බවය. මේ බව පළ කරමින් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ පසුගිය දිනවලදී ඇති වූ මහ විපතින් කම්පාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මුවහට ආපසු සිනහවක් කැඳවීමට මේ ජයග්‍රහණය හේතුවන බවම මැතිව්ස් ප්‍රකාශ කළ බවය.
පසුගිය දිනවල වූ අවාසනාවන්ත සිදුවීම් හේතුවෙන් වේදනාවෙන් සිටි ශ්‍රී ලාංකිකයන්ට ජයග්‍රහණයක් ලබාදීමට අපට හැකිවීම ගැන අප සතුටු වෙනවා. ගංවතුරින් ජීවිත හානි වීමෙන් පීඩාවට පත්ව සිටින අපගේ ශ්‍රී ලාංකිකයන්ට සිනහ වීමට හොඳ හේතුවක් ලබා දීමට හැකිවීම ගැන කෘතඥවන බවත් මැතිව්ස් සඳහන් කළේය.
තරගය නරඹන්නට පැමිණ පපරේ බෑන්ඩ් සමඟ විනෝද වෙමින් තමන් දිරිගැන්වූ එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ටද පැසසුම් කළ මැතිව්ස් තමන් ලෝක කුසලාන අවසන් තරගයක ක්‍රීඩා කරන වටපිටාවක සිටින්නේ යැයි හැඟුණු බව ප්‍රකාශ කළබවද ඉකොනොමික් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කරයි.
සටහන: යොහාන් භාසුර