ක්‍රිකට් එක්දින තරගවලදී ශතක 49ක් ලබාගෙන ලෝක වාර්තාවක් තබා සිටි සචින් තෙන්ඩුල්කාර්ගේ එම වාර්තාව ඔහු ඉදිරියේදීම පසුගියදා බිඳහෙලනු ලැබිණි. ඒ අන් කවරකු නොව, ඉන්දීය ක්‍රීඩකයකුම වන විරාත් කෝලි විසිනි. ඒ ශතක 50ක් ලබාගනිමිනි. විරාත් එම වාර්තාව පසුකළ මොහොතේ තම අසුනෙන් නැගිට සචින් තෙන්ඩුල්කාර් දෑත් ඔසවා විරාත් කෝලිට අත්පුඩියකින් තම ආදරය සංග්‍රහ කළේය. එපමණක් නොව ඔහු තරගයෙන් පසුව ළඟට විත් විරාත්ව වැළඳ ගත්තේය. එදින දස අතින් විරාත් කෝලිට හිටපු ක්‍රීඩකයන් මෙන්ම වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගෙන් සුබ පැතුම් ලැබිණි. එදින අයි.සී.සීය විසින් ගෞරවයට පාත්‍ර කළ අපේ රටේ විශ්මිත ක්‍රිකට් ක්‍රීඩයකු වන අරවින්ද සිල්වා ද විරාත්ව වැළඳ ගනිමින් සුබ පැතුම් එක් කළේය. ඒ මහත්මා ක්‍රීඩාවේ හැටිය.
එහෙත් අපේ රටේ එක්තරා ක්‍රීඩකයකුගෙන් විරාත් කෝලි සීයක් ගැසූ මොහොතේ සුබ පැතුවාදැයි ඇසූ විට ඔහු ලබාදුන් පිළිතුර වූයේ "මම මොකටද විෂ් කරන්නේ" යනුවෙනි. එවන් අධිමානයක සිටින ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අමුතුවෙන් ලොකු ලොකු හීන තබාගත යුතු නැත. නිහතමානීත්වය, අඩුපාඩු, දුර්වලතා හඳුනා නොගන්නා ඕනෑම තැනක පිරිහීම මිස සුගතියක් නම් නැත. ඒ නිසා ප්‍රථමයෙන්ම කිව යුත්තේ අපේ රටේ ක්‍රිකට් කණ්ඩායම, ක්‍රීඩාවට පෙර විනය හදාගත යුතු බවය. ඊට හොඳම සහ ළඟම උදාහරණය වන්නේ පසුගියදා පැවති ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවය. එම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ ක්‍රීඩකයන් දෙදෙනකු ජාත්‍යන්තර මාධ්‍ය සාකච්ඡාවක් තුළ හැසිරුණේ කිරිසප්පයන් මෙනි. කකුල් අල්ලමින් හිනාවෙමින් සිටි මේ ක්‍රීඩකයන් දෙදෙනාගේ හැසිරීම අද වන විට ලෝකයටම ප්‍රචාරය වී ඇත. ක්‍රීඩාවට පෙර තැනකට ගොස් හැසිරෙන්නට කියා දීම කළ යුතුය. එපමණක් නොව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ද වෙනම පාඩමක් ඉගැන්විය දිය යුතුය. ඊටත් වඩා පරාජය වුණත් ගෞරවාන්විත ලෙස පරාජය විය යුතු ආකාරය ගැන කියා දිය යුතුය. ජය පරාජය තමන්ට පාලනය කළ නොහැකි බව කියාගන්නා ක්‍රීඩකයන්ගෙන් තවත් ජයග්‍රහණ බලාපොරොත්තු විය නොහැකිය. කෙසේ වුවද ඒ ක්‍රීඩකයන්ව වාඩිකර පෙන්විය යුතු චරිත කිහිපයක් ඇත. විරාත් කෝලි, මැක්ස්වෙල්, ගිල් වැනි තරග වෙනස් කරන අරමුණක් සහිත ක්‍රීඩකයන්ය. එවැනි තරුණ ක්‍රීඩකයන්ගෙන් ඉගෙන ගත යුතු බොහෝ පාඩම් අපට ඇත.
දැන් මොන බණ කිව්වත් වැඩක් නැත. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහනම් කර අවසන්ය. මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය කියන්නේ දේශපාලන අතපෙවීම මීට හේතු වූ බවය. ක්‍රීඩා ඇමැතිවරයා කියන්නේ මෙය ශම්මිගේ වැඩක් බවය. තේරීම් කමිටුව කියන්නේ තමන්ට වැඩ කර ගැනීමට විවිධ දේශපාලන බලවේග ඉඩ නොදුන් බවය. එලෙස එකිනෙකා වෙත බෝලේ පාස් කළද හැමෝගෙම කිල්ලෝටවල හුණු ඕනෑවටත් වඩා ඇති බව දැන් දැන් හෙළිවෙමින් තිබේ. ශම්මිලා හිතවතුන් රුගෙන සංචාරයේ ගිය බවටත්, මුදල් විනාශ කළ බවටත් චෝදනා එල්ල වුවද පසුගියදා ශම්මි කෝප් කමිටුවේදී ඔස්ට්‍රේලියානු සංචාරයේදී ඇමැතිවරයාගේ ඉල්ලීම පරිදි ඇමැතිගේ දූවරුන් විදෙස්ගත ලැයිස්තුවේ සිටි බව හෙළි කළේය. නළු නිළියන් ද, ඇමැතිලාගේ දූවරුන්ද මෙලෙස තරග බැලීමට යාමේ තේරුම මොකක්දැයි අපි නොදනිමු.
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇමැතිවරයාට චෝදනා කර සිටියේ ඇතැම් ක්‍රීඩකයන් ගෙන යාමට අවසර නොදුන් බවය. එහෙත් ප්‍රමෝද්‍ය පළමුවර ඇන්ජලෝ මැතිව්ස් රුගෙන නොගියේ ඇයිද යන්නත්, මතීෂ සහ වෙල්ලාලගේ වැනි ක්‍රීඩකයන් රුගෙන ගොස් එළවා එළවා කන්නට සැලසුවේ ඇයිද යන්නත් ප්‍රශ්න කරන්නට කෙනකු නැත. එපමණක් නොව වනිඳු හසරංග තරගාවලියෙන්ම ඉවත් කිරීමට තීරණය කළේ ඇයිද යන්න ඇමැතිවරයාගෙන් ඇසීමට කෙනකු නැත.
මේ සියල්ලට වඩා විහිළු සහගත සිදුවීම වන්නේ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ ඉඟි බිඟි පෑමය. කටට ඇඟිලි තබා සංඥා කළ දේ කුමක්ද යන්න නොදන්නවා වුණත් රංජිත් බණ්ඩාර ක්‍රිකට් පාසල සෑදීම සඳහා වැඩේ ප්ලෑන් කළ කණ්ඩායමේ සිටි බව පසුව හෙළි විය. මේ හේතුවෙන් දැන් රංජිත් බණ්ඩාර සමඟ එකට කෝප් කමිටුවේ වාඩිවීම ද මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කරන තැනට පත්ව තිබේ.
කෙසේ වෙතත් අප රටේ දේශපාලනයත් ක්‍රිකට් ආයතනයත් එක්ව අපේ රටේ ක්‍රිකට්වලට ලබාදුන් හොඳම ගෞරවය ලබා දී අවසන්ය. ඒ අයි.සී.සී. ක්‍රිකට් තහනමය. ජීවිතේ කිසිම දිනෙක ඇසීමට බලාපොරොත්තු නොවුණු ඒ වචනය දැන් අප අසා අවසන්ය. එහෙත් එම තහනම තාවකාලික තහනමකි. මෙය ඉවත් කරගත හැක. එසේ ඉවත් කර ගැනීමෙන් ලොකුම වාසිය ලැබෙන්නේ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමටත්, කාන්තා ක්‍රිකට් කණ්ඩායමටත්ය. අද වන විට කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වෙනුවෙන් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණවල වේදිකා විවෘත වන විට පිරිමි ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් අසන්නට ඇත්තේ බැණුම් පමණි. මහේල කිව්වා සේ මේ දක්ෂ ක්‍රීඩකයන්ය. අපි ද එය පිළිගනිමු. එහෙත් මේ අති දක්ෂයන් නොවන බව අපි දනිමු. කෙනෙක් රෑ තිස්සේ කාන්තාවන් සමඟ රවුන් ගසන්නත්, ඊට පෙර ඔහුම වෙන තැනක ගුටි කන්නත්, රෑ තිස්සේ ක්ලබ් ගානේ යන්නත්, තව අයකු පබ් ගේම් ගසන්නත්, තවත් කෙනෙක් සමාජ මාධ්‍යවල චරිත වෙන්නත් හීන දකිති. එලෙස අපේ රටේ ක්‍රීඩකයෝ වෘත්තීය ක්‍රීඩාව කෙසේ වෙතත් අනෙක් සියල්ලම කරති. තමන්ගේ වැඩේ කරන්නට එකකු හොයාගැනීමට නොහැකි තැනට දැන් අපේ රටේ කණ්ඩායම පිරිහී ඇත.
තවත් එක් විහිළු කතාවක් කියා තිබුණේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහය. එනම් ක්‍රීඩකයන් වට්ටන්නට සමාජ මාධ්‍ය හරහා කුමන්ත්‍රණයක් වැනි දෙයක් ක්‍රියාත්මක වුණු බවය. අපේ රටේ ක්‍රීඩකයන් ලෝක කුසලානයකට ක්‍රීඩා කරන්නේ සමාජ මාධ්‍ය තුළද යනුවෙන් අපට ප්‍රමෝද්‍යගෙන් ඇසීමට ප්‍රශ්නයක් ඇත. ඒ නිසා මෙවැනි බොළඳ සුරතල් කතා අපිට වැඩක් නැත. දැන් අවශ්‍ය ඉතාම දක්ෂ ශක්තිමත් ක්‍රීඩකයන් පිරිසකි. ඒ සඳහා ස්මාර්ට් ක්‍රිකට් කෙසේ වෙතත් බෝලෙකට හරියට ගහගත හැකි 11ක් සොයාගත යුතුය. එසේ නොමැතිව ස්මාර්ට් ක්‍රීඩාවක් නොව අපට ටීක් බෝලයක් හෝ ගහන්නට වන්නේ නැත.
අවසාන වශයෙන් ක්‍රීඩා ගැටලුවට සම්බන්ධ අයගෙන් ප්‍රශ්නය කිහිපයක් අසන්නට ඇත.
1. ඇමැතිවරයාගේ දියණියන් දෙන්නෙක් ක්‍රිකට් බෝඩ් එක හරහා ඔස්ට්‍රේලියා ගියාද? එසේ නම් ගියේ ඇයි?
2. දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු සහ ඇන්ජලෝ වැනි ක්‍රීඩකයන් අත්හැරියේ ඇයි?
3. වනිඳු වැනි ක්‍රීඩකයෙක් දමා ගියේ ඇයි?
4. ජය පරාජය වෙනස් කරන්න බැරි නම් ක්‍රීඩකයකුගෙන් ඇති වැඩේ කුමක්ද?
5. දිමුත් කරුණාරත්න වැනි එක්දින තරගවල මෑතක දක්ෂතා නොපෙන්වූ ක්‍රීඩකයෙක් ආරම්භය සඳහා යෙදවූයේ ඇයි?
6. ධනංජය සිල්වා ආරම්භක පිතිකරුවකු ලෙස නොයෙදුවේ ඇයි?
7. ඉතාම ඉහළට එමින් සිටි කුසල් මෙන්ඩිස් හට නායකත්වයක් පටලවා ඇතිවූ වර්ධනය ගැන සතුටුද?
8. ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න අර්ජුන රණතුංග විතරද මේ රටට ඉතිරි?
I ගයාන් ගාල්ලගේ