2017 ජුනි 17 වන සෙනසුරාදා

එංගලන්තයේදී ක්‍රීඩා කළේ හරි ටීම් එකද?

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 294

තිසරගේ උඩපන්දුව - මැතිව්ස්ගේ කමිසෙ තාම උණුසුම් මාතෘකා

ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පාකිස්ථානයට එරෙහිව පැවැති තීරණාත්මක තරගයේදී තිසර පෙරේරා අතින් ගිලිහී ගිය පහසු උඩ පන්දුව බොහෝ දෙනකුගේ කතාබහට ලක්ව තිබුණි. ඒ පිළිබඳව විවිධ අදහස් පළවෙමින් තිබූ අතර ඉන් සමහරක් භයානකය. 

ශ්‍රී ලංකා පිල පළමු වටයෙන්ම ඉවත්වී මේ වන විට මව්බිමට පැමිණ තිබේ. ඒ හේතුවෙන් තිසර සහ සීකුගේ අතින් ගිලිහී ගිය උඩ පන්දු පිළිබඳව කතාකිරීම ඵල රහිතය. 

තරගයකදී පන්දු රකින්නකු අතින් උඩ පන්දුවක් ගිලිහී යෑම සාමාන්‍ය සිද්ධියකි. ගිලිහී යන උඩ පන්දුවට පිතිකරුගේ කීර්තිනාමය සහ තරගයේ ස්වභාවය අනුව බර තැබීමක් හිමිවේ. මෙය ද එවැනි තත්ත්වයකි. එම උඩපන්දුව රැකගත්තේ නම් තරගයේ වෙනසක් වේ යැයි බොහෝ දෙනා විශ්වාස කරති. බොහෝ විට එය එසේ වීමට ද ඉඩ තිබුණි. කෙසේ වුවද ශ්‍රී ලංකා කණ්ඩායම ආපසු පැවැති මාධ්‍ය හමුවේදී මාලිංග පැවැසුවේ උඩපන්දු අතහැරීමෙන් තරග පරාජය නොවන බවය. තමන් අතින්ද උඩ පන්දු ගිලිහී ගොස් තිබෙන බව පැවැසූ මාලිංග කණ්ඩායමක් වශයෙන් ශ්‍රී ලංකාව හොඳින් ක්‍රීඩා කළ බවද කීය.

මෙම තරගය අවසන්වීමෙන් තිසර පෙරේරා විවේකාගාරයට පැමිණ දැඩි කණස්සල්ලට පත්ව සිටි බව වාර්තා වේ. 

ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේදී සහභාගි වූ තරග තුනෙන් එකක් පමණක් ජය ලැබූ අතර ඉතිරි තරග දෙකම පරාජයට පත්විය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් අනාගතය පිළිබඳව කවුරුන් ෙහා් අවධානය යොමු කරන්නේ නම් පළමුවෙන්ම අවධානය යොමුවිය යුත්තේ මෙම තරගාවලියට සහභාගි වූ සංචිතය දෙසට සහ ක‍්‍රීඩකයන් තරගවලට යොදාගත් ආකාරය දෙසටය. 

තේරීම් කමිටුව මෙම සංචිතය ඉතාමත් අමාරුවෙන්ම තෝරාගත් බව සනත් ජයසූරිය මාධ්‍ය හමුවකදී පවසා තිබිණි. මෙවැනි සංචිතයක් තේරීම එතරම් අමාරු නැතැයි සමහරු කියති. 

මෙම සංචිතය ඇස ගැටුණු ඕනෑම කෙනෙකුට දැනෙන්නේ මෙය පැත්තක් බර සංචිතයක් බවයි. මෙම සංචිතයේ නිත්‍ය පිට දඟ පන්දු යවන්නෙක් හෝ නිත්‍ය පා දඟ පන්දු යවන්නෙක් සිටියේ නැත. 

එම සංචිතයට ඇතුළත්ව සිටි එකම දඟ පන්දු යවන්නා වන චයිනමන් පන්දු යවන ලක්‍ෂාන් සඳකැන්ට පුහුණු තරග පමණක් ලැබුණි. අවස්ථානුකූලව ඔහුව යොදා ගැනීමට පියවරක් ගත්තේ නැත. 

පාකිස්ථානයට එරෙහිව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සතුව දඟ පන්දු යවන්නකු යැයි කිවහැකි පන්දු යවන්නකු සිටියේ නම් මොහොමඩ් අමීර්ට පීඩනයක් යොමු කර දවාගැනීමේ අවස්ථාව තිබුණි. කෙසේ වෙතත් එහිදී එවැනි පීඩනයක් යොමු කළ හැකි දඟ පන්දු යවන්නෙක් සිටියේ නැත. 

දකුණතින් මඳ වේග පන්දු යවන්නකු වන අසේල ගුණරත්නට පිට දඟ පන්දු යවන්නාගේ කාර්යය බාර දී තිබූ අතර ඔහු ද  ඕවර 5 ක් පමණක් යැවීමට යොදා ගත්තේය. පිට දඟ පන්දු යවන්නන් වන ධනුෂ්ක ගුණතිලක සහ ධනංජය ද සිල්වා ඕවරය බැගින් යවා තිබුණි. 

අතිරේක ක‍්‍රීඩකයන් ලෙස ධනුෂ්ක ගුණතිලක සහ ඩිල්රුවන් පෙරේරා තරගාවලිය ආරම්භයේ සිටම එංගලන්තයේ රැදී සිටියහ. පරිසරයට හුරුව සිටි ඩිල්රුවන් මඟ හරිමින් මැජික් පෙන්වීමට ධනංජය ද සිල්වා එක තරගයකට පමණක් සහභාගි කරවීමට එංගලන්තයට කැඳවා තිබිණි. ඒ පිළිබඳව විමසූ විට ශ්‍රී ලංකා පිලේ කළමනාකරු සහ තේරීම් කමිටු සාමාජික අසංක ගුරුසිංහ පැවසුවේ එංගලන්ත තණ තීරු වේග පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය වූ බැවින් සඳකැන්ට අවස්ථාවක් නොලැබුණු බවය. එසේම මැද පෙළ හොඳ පිතිකරුවකු අවශ්‍යව තිබූ බැවින් ඩිල්රුවන් සිටියදී ධනංජය ගෙන්වාගත් නමුත් ඔහු ලකුණු රැස් නොකළ බවත් කීය. 

මෙම තරගාවලිය අවසන් වන විට ද කණ්ඩායම් අභ්‍යන්තරයේ ගැටුම් නිර්මාණය වී තිබූ බව වාර්තා වේ. ඇන්ජලෝ මැතිව්ස් පන්දු නොයවන්නේ නම් තරගවලට සහභාගි නොකරන ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධානියකු බලපෑම් කළ බවත් අසංක ගුරුසිංහගේ මැදිහත් වීමෙන් මැතිව්ස්ට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබුණු බවත් දැනගන්නට තිබේ. 
මැතිව්ස් එයට පිළිතුරු දැක්වීමක් ලෙස ඉන්දියාවට එරෙහිව තරගය ජය ලැබීමෙන් පසුව කමිසයේ ඇති ඔහුගේ නම පෙන්වූ බවට කතාවත් පැතිර ගියේය. 

කෙසේ වෙතත් මැතිව්ස් පැවසුවේ එය කිසිවකු ඉලක්ක කරමින් පෙන්වීමක් නොවන බවත් සතුට වැඩිවීම නිසා කළ දෙයක් බවත්ය.

 යොහාන් භාසුර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00