ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි ක්‍රිකට් ඉතිහාස පොතට පරිච්ජේද කිහිපයක් එකතු වීම සාමාන්‍ය තත්ත්වයකි. ඇමෙරිකාවේදී සහ කොදෙව් දූපත්හිදී පැවැති නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රිකට් ඉතිහාස පොතේ පිටු කිහිපයක් පිරවීම කැපී පෙනේ.
මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (29) පැවැත්වීමට නියමිතව තිබුණි. එම තරගයෙන් ජය ලබන කණ්ඩායමට ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ත්‍යාග මුදල වන ඇමෙරිකානු ඩොලර් මිලියන 2.45 ක් හෙවත් රුපියල් කෝටි 73 කට අධි මුදලක් ද, අනු ශූරයන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.28 ක් හෙවත් රුපියල් කෝටි 38 කට අධික මුදලක් ද, පිරිනැමීමට නියමිතව තිබුණි.
ඉතිහාසය පුරාම ලෝක කුසලාන තරගාවලිවලදී අපලයකට මුහුණ දුන් දකුණු අප්‍රිකාව පළමුවරට ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම ද මෙවර විශේෂත්වයකි.
ලෝක ක්‍රිකට් පිටියේ පසුගිය වසර දෙකක පමණ කාලයේ පෙරළිකරුවන් වන ඇෆ්ගනිස්ථානය පළමුවරට ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීම මෙවර ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාරම සිද්ධිය විය.
අවසන් පූර්ව තරගයේදී ඇෆ්ගනිස්ථානය කඩුලු 9 කින් දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්වීමෙන් අවසන් මහ තරගය අහිමි විය.
ඉන්දියාව දෙවැනි අවසන් පූර්ව තරගයේදී ආසන්නතම ලෝක ශූරයන් වන එංගලන්තය පරාජය කරමින් පසුගිය සිකුරාදා අලුයම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය පුරාම ප්‍රබල රටවල් ගොන්නට වැටෙන රටක් හෝ දෙකක් අකරතැබ්බයන්ට මුහුණදීම සාමාන්‍ය තත්ත්වයක් වුවද මෙවර එය රටවල් හතරක් බවට පත් විය.
විස්සයි20 ලෝක කුසලාන කිරුළ 2009 පැළඳි පාකිස්ථානය සහ 2014 වසරේ පැළඳි ශ්‍රී ලංකාව මෙන්ම ප්‍රබල නවසීලන්තය පළමු වටයෙන්ම ඉවතට විසිවූ මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ප්රබලතම මෙන්ම ජ්‍යෙෂ්ඨතම කණ්ඩායමක් වන 2021 වසරේ විස්සයි20 ලෝක කුසලාන කිරුළේ හිමිකරුවන් වන ඔස්ට්‍රේලියානු පිල ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජයට පත්ව දෙවැනි වටයෙන් ඉවතට විසිවීම ද කැපී පෙනුණි.
සත්කාරක පාර්ශවයක් වන ඇමෙරිකාව ද මෙවර තරගාවලියේ ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලැබීම අමතක කළ නොහැක.
පළමු වටයෙන්ම ඉවත්ව යෑම නිසා ශ්‍රී ලංකා සහ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම් මේ වන විට අර්බුදකාරී තත්ත්වයන්ට පත්ව තිබේ. නවසීලන්ත ක්‍රිකට් පිලේ නායක කේන් විලියම්සන් නායකත්වයෙන් මෙන්ම ක්‍රිකට් කොන්ත්‍රාත්තුවෙන් ද ඉල්ලා අස්විය.
ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් පිලේ නායක වනිඳු හසරංගට නායකත්වයෙන් ඉවත් වන ලෙස බලපෑම් එල්ල වෙමින් ඇති අතර ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සහ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන එම තනතුරුවලින් ඉල්ලා අස්වූහ.
• යොහාන් භාසුර