තමන්ගේ ඇසේ තිබෙන පොල් පරාලය පෙන්නේ නෑ, අනුන්ගේ ඇසේ තිබෙන පොල් කෙන්ද පේනවා යැයි කියමනක් ජන වහරේ තිබේ. මෙම කියමනට ගැළපෙන ප‍්‍රකාශයක් වර්තමාන ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සම්බන්ධයෙන් පසුගියදා ප‍්‍රකාශකර තිබුණි.
ක‍්‍රීඩා අමාත්‍යවරයා එම ප‍්‍රකාශය කළ ස්ථානය නිවැරදි ද යන්න පිළිබඳව නැවත කල්පනා කර බැලිය යුතුව තිබේ.
ක‍්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව නිමකළ පිරිසකට සහතික ප‍්‍රදානය කිරීම සඳහා පසුගිය සිකුරාදා ක‍්‍රීඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී ක‍්‍රීඩා අමාත්‍යවරයා මෙම විවාදාත්මක ප‍්‍රකාශය කර තිබුණි.
එහිදී අමාත්‍යවරයා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සම්බන්ධයෙන් මෙවැනි ප‍්‍රකාශයක් කර තිබුණි.
ක‍්‍රීඩා කරන විට පේනවා ටීෂර්ට් එකට උඩින් බඩ ඇවිල්ලා තියෙනවා. ලංකාවේ තරම් කැත මිනිස්සු ටිකක් ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන වෙන රටක් නෑ. කිහිපදෙනයි එහෙම නැතුව ෆිට්නස් ස්ට්‍රේන්ත් එක්ක ඉන්නේ
කෙනෙක් කියලා තිබුණේ කැච් අත ඇරුණා කියලා මැච් පරදින්නේ නැහැ කියලා. කැච් අත ඇරුණ නිසා තමයි මැච් පැරදුණේ. කැච් එක ගන්න ළඟට යනකොට බඩ වැඩිනම් කැච් එක අල්ලන්න අත යන්නේ නැහැ. ඊට පස්සේ කැච් එක අතඇරලා ඔළුවේ අතගහගෙන ඉන්නවා. මේක තමයි සිද්ධ වෙන්නේ
ක‍්‍රිකට් ක‍්‍රීඩාවේදී කැත ලස්සන ප‍්‍රශ්නයක් නැත. ලකුණු රැස්කරනවා නම් කඩුලු ලබා ගන්නවා නම් එය ප‍්‍රමාණවත්ය. ක‍්‍රීඩා අමාත්‍යවරයාට ක‍්‍රිකට් ඉතිහාසය පිළිබඳව සොයා බැලීමට කාලය තිබේ නම් ලෝක පූජිත හිටපු ක‍්‍රිකට් නායකයකු පවසා තිබුණේ ලකුණු පුවරුවට ලකුණු එකතු වෙනවා නම් ගහන පහර තමන්ට ප‍්‍රශ්නයක් නොමැති බවයි.
ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලාන දක්වා මෙහෙයවූ අර්ජුන රණතුංග ද සාමාන්‍ය ක‍්‍රීඩකයකුට වඩා බඩ තිබූ ක‍්‍රීඩකයෙකි. ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට පිතිකරැවන් වන දුලිප් මෙන්ඩිස් සහ අරවින්ද ද සිල්වා ද ක‍්‍රීඩා ඇමැතිවරයාට අනුව බඩ වැඩි ක‍්‍රීඩකයෝ වෙති.
බඩ තියෙන ක‍්‍රීඩකයන් ඇතුළත් කණ්ඩායමට අනුමැති දෙන්නේ කවුද? එම කණ්ඩායම තේරීම සඳහා තේරීම් කමිටුව පත්කර තිබෙන්නේ කවුද? ඒ සියල්ල සිදුවන්නේ තමන්ගේ අනුමැතියෙන් බව ඇමැතිවරයාට අමතකවීම හාස්‍යය දනවයි. ක‍්‍රීඩා අමාත්‍යවරයාට ක‍්‍රීඩකයන්ගේ බඩ පමණක් පෙනේ. එම ක‍්‍රීඩකයන් සංචාරවලට සහභාගි වී සිටියදී ඔවුන් මානසිකව වට්ටන ක‍්‍රිකට් ලොක්කන්ගේ තකතීරැ වැඩ සහ මුදල් නාස්තිය ඇමැතිවරයා දැක ද නැත, අසා ද නැත. ක‍්‍රීඩකයන්ගේ බඩ සෙවීම මෙන්ම එංගලන්තයේ පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලිය නැරඹීමට ක‍්‍රිකට් ආයතනයේ වියදමින් ගිය අනවශ්‍ය පිරිස පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වීම ද දූෂිතයන්ට පාඩමක් ඉගැන්වීමට අවස්ථාවකි.
ක‍්‍රීඩා ඇමැතිවරයා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සේවය කරන කීදෙනකු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මධ්‍ය අංශයේ සේවය කරන බව පවසමින් වැටුප් ලබා ගන්නේ කෙසේ දැයි සොයා බලන්නේ නම් එය වඩාත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ප‍්‍රයෝජනවත් වනු ඇත.
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දහඩිය හලමින්, පීඩනය දරා ගනිමින්, විවේචන ඉවසා ගනිමින් ක‍්‍රීඩා කරමින් ගෙන එන සල්ලි ගිලින කුම්භාණ්ඩයන් ගැන පරීක්‍ෂණ කිරීමට මේ වන විට ද ප‍්‍රමාද වැඩිය.
ක‍්‍රීඩකයන්ගේ බඩ වැඩි නම් ශාරීරික යෝග්‍යතාව නොමැති නම් ඒ සඳහා ඕනෑතරම් විකල්පයන් තිබියදී ශ්‍රී ලංකා ජනතාව ආදරය කරන ලෝක පූජිත ක‍්‍රීඩකයන්ට ප‍්‍රසිද්ධියේ අපහාස කිරීම අනුමත කළ නොහැක.
උඩ පන්දුව අතහැරියාට තරග පරාජය නොවන බව කොණ්ඩය පමණක් ඇති ක‍්‍රීඩකයා පැවසුවේ ක‍්‍රිකට් ලොක්කන් සමඟ එකට සිටය. එහිදී ක‍්‍රිකට් ලොක්කන්ට මාධ්‍යවේදීන්ට උපදෙස් දීමට හැකියාව තිබුණේ නම් එම ක‍්‍රීඩකයාගේ ප‍්‍රකාශයට විරුද්ධවීමට කොන්දක් තිබිය යුතුය. එහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් මෙවැනි ප‍්‍රකාශයක් ද කර තිබුණි.
අද බලන්න බංග්ලාදේශ කණ්ඩායම. එක ක‍්‍රීඩකයෙක්ගේවත් උදරය ඉදිරියට නෙරා ඇවිල්ලා නැහැ. මොකද ඒ? ඒ ඔවුන්ව ඉතාමත් නිවැරදි ආකාරයට පුහුණු කිරීම් කරන නිසයි
බංග්ලාදේශ පිලේ පුහුණුකරුවන් ලෙස චන්දික හතුරැසිංහ මහතා ඇතුළු ශ්‍රී ලාංකිකයන් කීපදෙනකු කටයුතු කරන බව ක‍්‍රීඩා අමාත්‍යවරයාට අමත වී තිබේ. නමුත් ශ්‍රී ලංකා පිලට මසකට රුපියල් ලක්‍ෂ 100 කට අධික වැටුප් ගෙවා විදේශ පුහුණුකරුවන්ගේ සේවය ලබා ගනියි. එම ඇතැම් පුහුණුකරුවන් ඉතාමත් දුර්වල පුද්ගලයන් බව බොහෝ දෙනා පවසති.
අවසානයේ සටහන් කළ හැක්කේ වැටත් නියරත් ගොයම් කා නම්, කාට පවසමු ඒ අමාරුව යනුවෙනි පමණි.
වරකාගොඩ ගමගේ