2025 ජනවාරි 18 වන සෙනසුරාදා

ඔලිම්පික් කමිටු හිටපු ලේකම් මැක්ස්වෙල්ට වැඩේ “දෙල්” වෙයි

 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 54

ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා පසුගිය සතියේ තීරණය කළේය. 
ක්‍රීඩා අමාත්‍යවරයාගේ එම තීරණයත් සමඟ ජාතික ඔලිම්පික් කමිටුව පිළිබඳව මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාට එල්ල වී ඇති චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණ අවසන් වන තෙක් මෙම තහනම ක්‍රියාත්මක වන බවත් ජාතික ඔලිම්පික් කමිටුව කළ පරීක්ෂණයක් පදනම් කරගෙන ක්‍රීඩා අමාත්‍යවරයා මෙම තීරණයට එළැඹි බවත් වාර්තා වේ.

ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ ක්‍රියා කලාපය පිළිබඳව කටයුතු කරන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දී තිබුණු අතර ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් පිරිනමන මූල්‍ය පහසුකම් අත්හිටුවීමට පියවර ගන්නා බව අවසන් වරට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දී තිබුණි. එම දැනුම්දීම් ඇතුළු කරුණු රැසක් පිළිබඳ අවධානය යොමු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාට මෙම තහනම පැනවීමට පියවර ගත්තේය.

ජාතික ඔලිම්පික් කමිටුව යනු මෙරට අප්‍රසිද්ධ දූෂිතම ආයතනයක් බව ක්‍රීඩා පරිපාලනයේ දැනුමැත්තෝ පවසති. ජාතික ඔලිම්පික් කමිටුවට එවැනි සහතිකයක් ලැබීමට මැක්ස්වෙල් ද සිල්වා මහතා ප්‍රධාන සාධකයක් බව සමහරුන් පැවසීමේ වැරැද්දක් ද නැත. මැක්ස්වෙල් ද සිල්වා මහතා වසර 15 කට ආසන්න කාලයක් එම කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. මෙම කාලය තුළ ඒ මහතාට සහ එහි වර්තමාන මෙන්ම හිටපු නිලධාරීන් රැසකට විවිධ චෝදනා එල්ල වී තිබේ.
මානව සහ ‍භෞතික සම්පත් අවභාවිතය, ක්‍රීඩා තරගාවලි සඳහා දෙන වීසා උපයෝගී කරගනිමින් හිතවතුන් විදේශගත කිරීම, ජාතික ඔලිම්පික් කමිටුවේ මුදල් අනිසි ලෙස වැය කිරීම, හිතවත්කම් මත ශිෂ්‍යත්ව සහ විදේශ සංචාර ලබාදීම වැනි චෝදනා රැසක් ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්ට එල්ල වී තිබේ. එම චෝදනාවලින් වැඩි ප්‍රමාණයකට මැක්ස්වෙල් ද සිල්වා මහතා වගකිව යුතු යැයි ක්‍රීඩා පරිපාලනයේ බොහෝ දෙනා පවසති.

දීර්ඝ කාලයක් මෙම සෙල්ලම කරමින් සිටි මැක්ස්වෙල් ද සිල්වා මහතා ප්‍රමුඛ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් මට්ටු කිරීමට වරින් වර පත් වූ ක්‍රීඩා ඇමැතිවරුන් උත්සාහ කළ ද ඒවා අසාර්ථක විය. එම සෑම අවස්ථාවකදීම ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් පැවසුවේ ජාතික ඔලිම්පික් කමිටුවට ශ්‍රී ලංකාවේ නීතිය නොව ජාත්‍යන්තර නීතිය බලපාන බවයි. ඒ අනුව ඔවුහු ක්‍රීඩා අමාත්‍යවරයා දේශපාලන බලපෑම් කරන බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලිපි ලියා ක්‍රීඩා ඇමැතිවරුන් බියට පත් කරමින් අඛණ්ඩව තනතුරුවල රැඳී සිටියහ.

මෙවර දෛවයේ සරදමක් ලෙස ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා පිළිබඳ කටයුතු කරන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන්ම බලපෑම් එල්ලවීම කැපී පෙනේ.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව එවැනි තීරණයකට එළඹීමට හේතු කිහිපයක්ම පැවතුණි.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් සහ ලේකම්වරයා අතර වසරකට අධික කාලයක සිට පවතින විරසකය මෙම තත්වයට ප්‍රධාන හේතුවක් බවට පත්විය. ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා සභාපතිවරයා මායිම් නොකර අත්තනෝමතිකව කටයුතු කිරීම එම විරසකයට ප්‍රධාන හේතුව බවට පත්විය.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් තහනම් කළ නිලධාරියකු වන කුවේට් ජාතික ෂෙයික් අහමඩ් අල් ෆහාඩ් අල් සබා තායිලන්තයේ බැංකොක් නුවර හෝටලයකදී හමුවීම, ජාත්‍යන්තර ඔලිම්පික් ආචාරධර්ම බිඳ දැමුවේ යැයි චෝදනාවක් එල්ලවීම මෙම තත්වයට බලපෑ ප්‍රධාන සාධකයකි.

මැක්ස්වෙල් ද සිල්වා සහ කුවේට්හි හයිඩර් ෆර්මානන් ද, අල් සබා සමඟ රහසිගත සාකච්ඡාවක දර්ශන සීසීටීවී කැමරාවල සටහන් වීමෙන් පසු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආචාරධර්ම කමිටුව මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළේය.
බැංකොක් නුවරදී පසුගිය ජූලි 8 වැනිදා පැවති ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ඡන්ද විමසීමට පෙර දින එහිදී සභාපති තනතුරට තරග කළ ෂෙයික් තලාල් ෆහාඩ් අල් අහමඩ්ට සහාය දක්වමින් වෙනත් සාමාජික රටවලින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පෞද්ගලික ජෙට් යානයකින් බැංකොක් වෙත ගෙන්වීමට ක්‍රියා කළ බැවින් ෂෙයික් අහමඩ් අල් ෆහාඩ් අල් සබා හමුවීමෙන් වළකින ලෙස දැනුම් දී තිබියදී ඔහුව හමුවීම පිළිබඳව මැක්ස්වෙල් ද සිල්වා මහතාට චෝදනා එල්ල විය.
ෂෙයික් අහමඩ් විවිධ බලපෑම් කරමින් එම ඡන්දය පාලනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් රටවල් ඔහුගේ සහෝදරයාට සහාය දැක්වීමට අවසාන මොහොතේ ඡන්දය වෙනස් කළ බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසයි.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා මෙම කිසිදු සිද්ධියකට සම්බන්ධ වී නොමැති අතර ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා හොර රහසේ මෙම ක්‍රියාවල යෙදී ඇති බව වාර්තා වේ.
සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණවලට සහයෝගය දක්වා ඇති බවද වාර්තා වේ.

දශක දෙකකට අධික කාලයක් මෙරට ක්‍රීඩාව සහ ක්‍රීඩක ක්‍රීඩකාවන් සමඟ සෙල්ලං දැමූ මැක්ස්වෙල් ද සිල්වා මහතා මෙවර මට්ටුවන බව ක්‍රීඩා ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ.

• යොහාන් භාසුර