2017 ජුලි 01 වන සෙනසුරාදා

ක්‍රිකට් ලොක්කෙක් ඉල්ලා අස්වෙයි!

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 126

ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධානියකුගේ ක‍්‍රියාකලාපයට විරෝධය දක්වමින් ක‍්‍රිකට් පරිපාලනයේ පැවැති ව්‍යාකූල තත්ත්වය පසුගිය සතියේ උත්සන්න වෙමින් එහි විධායක කමිටුවේ උප තනතුරක් දරණ නමගිය නිලධාරියකු ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. අදාළ නිලධාරියා පසුගිය සතියේ ක‍්‍රිකට් ආයතනයේ ඔහුගේ නිල කාර්යාල කාමරයේ ලියකියවිලි සහ උපකරණද වාහනයේ පටවාගෙන පිටත්ව ගිය බව වාර්තා වේ. 

එම නිලධාරියා මීට සති දෙකකට පමණ පෙර තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ක‍්‍රිකට් ආයතනයට ලබාදී ඇති අතර එය බාරනොගත් බවද වාර්තා වේ. එම ලිපිය බාරදීමට පෙර අදාළ නිලධාරියා සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ තවත් ප‍්‍රධානියකු කොල්ලුපිටිය ප‍්‍රදේශයේ හෝටලයකදී මුණගැසී සාකච්ඡාවක් ද පවත්වා ඇති බව වාර්තා වේ. මෙම ප‍්‍රශ්නය මත මෙම දෙපළ අතර මීට පෙර ද සාකච්ඡා කීපයක් පැවැත්විණි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඇතැම් පත්කිරීම්, මුදල් පරිපාලනය සහ ඇතැම් නිලධාරීන්ගේ දූෂණ කටයුතු පිළිබඳව අදාළ නිලධාරියා ක‍්‍රිකට් නිලවරණයෙන් සති කීපයකට පසුව විධායක කමිටුවේදී විරෝධය පළකර තිබුණි. 

කෙසේ වෙතත් ක‍්‍රිකට් ලොක්කෙකුගේ සෙවණේ වැඩෙන ඇතැමුන් එම දූෂිත ක‍්‍රියාවල වෙනසක් නොකිරීම හේතුවෙන් එම නිලධාරියා ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇති බව තතු දන්නෝ පවසති. අදාළ නිලධාරියාගේ ද සහයෝගයෙන් ක‍්‍රිකට් ආයතනයේ බලයට පත්වූයේ යැයි කියන ක‍්‍රිකට් ලොක්කෙක් ඊළඟ නිලවරණයේදී තනියෙන් බලය ලබා ගැනීමේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරමින් සිටීම පිළිබඳව ද ඉල්ලා අස්වූ නිලධාරියා තුළ විරෝධයක් තිබූ බව වාර්තා වේ. එම නිලධාරියා දිස්ත‍්‍රික් සංගමයකට ඉදිරිපත් කළ ලේකම්වරයා පරාජය කරමින් ක‍්‍රිකට් ලොක්කාගේ හිතවතකු පත්කළ බව ද වාර්තා වේ.  

සටහන: වරකාගොඩ ගමගේ