ශ්රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව පසුගිය සතිය පුරාම දෙකොන පත්තු වූ විලක්කුවක් මෙන් ගිනියම් වී තිබුණි. සිම්බාබ්වේ සංචාරය සඳහා නම් කළ සංචිතයට ක‍්‍රීඩා ඇමතිවරයා අනුමැතිය ලබා නොදීම එහිදී වඩාත් කැපී පෙනුණේය. වසර දෙකකට ආසන්න කාලයක් ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග‍්‍රැහැම් ෆෝඩ් මහතා පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වීමද කථාබහට ලක්විය.
ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක‍්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ප‍්‍රසිද්ධයේ කළ ප‍්‍රකාශයට වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීමත් සමඟ ගැටුම්කාරී තත්ත්වය ඇති විය. ක‍්‍රීඩා අමාත්‍යවරයා පසුගිය සතියේ පැවසුවේ ක‍්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ හොඳ හොඳ සෙල්ලම් ඉදිරියේදී හෙළි කරන බවයි.
ක‍්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එක්දින සංචිතයට නම් කර ඇති ක‍්‍රීඩකයන් 15 දෙනාගෙන් එකම ක‍්‍රීඩකයකු හෝ ලෝක මට්ටමේ ශාරීරික යෝග්‍යතා මට්ටමේ නැති බවයි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකු ‘දේශය’ට පැවසුවේ ලෝක මට්ටමේ ශාරීරික යෝග්‍යතාව බලනවා නම් ශ්‍රී ලංකාවට ක‍්‍රිකට් ක‍්‍රීඩා කළ නොහැකි බවයි.
ඔය කියන විදියට බැලුවොත් සුදුසුකම් තියෙන එක ක‍්‍රීඩකයෙක්වත් නෑ. එහෙනම් ඉතින් ශ්‍රී ලංකාවට ක‍්‍රිකට් ගහන්න බැරි වෙයි’ යැයි එම ක‍්‍රීඩකයා වැඩි දුරටත් පැවසීය.
ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගිය අඟහරැවාදා එක්දින සංචිතයේ ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා අමාත්‍යංශයට කැඳවා ශාරීරික යෝග්‍යතාව පිළිබඳව කොන්දේසි පනවා අනුමැති ලබා දුන්නේය.
පළමු එක්දින තරග දෙක සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයෙන් ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ඉවත්කර තිබුණි. නවක ක‍්‍රීඩක වනිඳු හසරංග සංචිතයට කැඳවා තිබුණි. ෆෝඩ්ගේ ඉවත්වීමෙන් හිස්වූ පුහුණුකරු ධූරයට පත්කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පුහුණුකරුවකු සොයමින් සිටින බව දැනගන්නට තිබේ. පන්දු රැකීමේ පුහුණුකරු නික් පෝතාස් එළඹෙන ඉන්දීය සංචාරයේ අවසානය දක්වා ප‍්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ. දැනට බංගලාදේශයේ පුහුණුකරු චන්දික හතුරැසිංහට ආරාධනා කිරීම ගැන පිරිසක් සලකා බලන බවද දැනගැනීමට ලැබිණි.
එංගලන්තයේදී පැවැති ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියට සහ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ රැස්වීමට සහභාගි වීමට ක‍්‍රිකට් විධායක කමිටුවේ පිරිසක් සහභාගිවීම නිසා පසුගිය සතියේ ක‍්‍රිකට් ආයතනය පාළුවට ගොස් තිබුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය සඳුදා ක‍්‍රිකට් මූලස්ථානයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේ ස්තූති කථාව කිරීමට නිලධාරියෙක් නොමැති විය. ආධුනික පුහුණුකරු ස්තූති කථාව සඳහා යොමුකර තිබුණි.
සභාපති තිලංග සුමතිපාල මහතා පසුගිය සඳුදා ශ්‍රී ලංකාවට පැමිණ සිටි අතර ඒ මහතා සහ ශ්‍රී ලංකා ක්රිකට් පිලේ සාමාජිකයන් අතර එදින රාත‍්‍රී ක‍්‍රිකට් මූලස්ථානයේදී විශේෂ සකච්ඡාවක් පැවැති බවද වාර්තා වේ.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ආබාධවලින් වළක්වා ගැනීමේ පියවරක් ලෙස ඕස්ට්‍රේලියානු ඔලිම්පික් පදක්කම්ලාභි පිහිනුම් ශූරයකු යැයි කියන විශේෂඥයකුගේ සේවය ලබා ගැනීමට ක‍්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. පාද පිළිබඳ විශේෂඥයා හඳුන්වා දෙමින් ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ ඒ සඳහා විශාල මුදලක් වැය වන බවයි. මෙය ද ක‍්‍රිකට් ආයතනයේ තවත් ‘සුදු අලි’ ගණයේ ව්‍යාපෘතියක් වේදැයි සැක මතුවී තිබේ.
සටහන: යොහාන් භාසුර