ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් පිල පසුගිය අඟහරුවාදා තවත් මාර පරාජයකින් යාන්තමින් ගැලවෙමින් සිම්බාබ්වේට එරෙහිව කොළඹදී පැවැති ටෙස්ට් තරගයෙන් ජය ලැබීය. සිම්බාබ්වේට එරෙහිව එක්දින තරගාවලියට 3x2 කින් පරාජය වූ ශ්‍රී ලංකාව එම තරගාවලියට තමන් සතුව සිටින උපරිම සම්පත් යොදාගත්තේද යන ප‍්‍රශ්නය ටෙස්ට් ජයග‍්‍රහණයත් සමඟ මතුවේ.
මෙම තරගයේදී එක්දින තරගාවලියට සහභාගි නොවූ දඟ පන්දු යවන රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරාගේ දස්කම් කැපී පෙනුණි. රංගන එක්දින තරග පිටියෙන් සමුගෙන තිබුණ ද ඩිල්රුවන් තවමත් ඕනෑම තරගයකට කැඳවීමක් ලැබුණහොත් ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටියි. නමුත් ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියට අතිරේක ක‍්‍රීඩකයකු ලෙස එංගලන්තයේ මාසයක් ගතකර පැමිණි ඩිල්රුවන් සිම්බාබ්වේ සංචාරයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව කටයුතු කළේය.
ඩිල්රුවන් ඉවත් කරමින් අකිල ධනංජය කැඳවීමට තේරීම් කමිටුව පියවර ගත්තේය. සිම්බාබ්වේ පිලට එරෙහිව සූරියවැවදී පැවැති අවසන් එක්දින තරගයට හෝ ඩිල්රුවන් ක‍්‍රීඩා කළේ නම් ප‍්‍රතිඵලය මීට වඩා වෙනස්වීමට ඉඩ තිබූ බවත් ඩිල්රුවන් සහ අකිල අතර පැහැදිලි වෙනසක් ඇති බවත් බොහෝ දෙනාගේ මතයයි.
ඩිල්රුවන් ටෙස්ට් තරගයේදී ලකුණු අතරට පැමිණෙමින් තමන් තවමත් වේගයෙන් ලකුණු රැස්කළ හැකි පිතිකරුවකු බවද ප‍්‍රදර්ශනය කළේය. මෙම තත්ත්වය පිළිබඳව තේරීම් කමිටුව පවසන්නේ ඩිල්රුවන් අත්දැකීම් ඇති ක‍්‍රීඩකයකු වීම නිසා තරුණ ක‍්‍රීඩක අකිල ධනංජය කැඳවූ බවයි.
තරුණයන්ට අවස්ථාව ලබාදිය යුතුය එහි විවාදයක් නොමැත. නමුත් එය ‘වල්බූරු’ න්‍යායට නොකළ යුතුය. සිම්බාබ්වේට එරෙහිව ඉතිහාසයේ පළමු එක්දින තරගාවලි පරාජය ලබමින් එක්දින ශ්‍රේණිගත කිරීමේ ලකුණු 6 ක් කපා ගැනීමෙන් ‘වල්බූරු’ න්‍යායට තරුණයන් ගෙන ඒමේ ආදීනව දැකගත හැකි විය.
ශ්‍රී ලංකාව 2019 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම සූදානම් කරනවා නම් ඩිල්රුවන් පෙරේරා පිට දඟපන්දු යවන්නා ලෙසත් මාලින්ද පුෂ්පකුමාර පා දඟ පන්දු යවන්නා ලෙසත් සංචිතයට කැඳවීම ප‍්‍රමාද නොකළ යුතුය.
පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩකයන්, පිට දඟ පන්දු යවන්නන් වෙනුවට චයිනමන් පන්දු යවන්නන් යොදවා තරග ජය ලැබිය නොහැකි බවට ශ්‍රී ලංකාවට අමුතුවෙන් පාඩම් අවශ්‍ය නැත.
වේග පන්දු යවන්නෝ ද එසේමය. ඔවුන්ට ද අඛණ්ඩව තරග ලබාදී කණ්ඩායම තුළ තබාගත යුතුය. කෙසේ වෙතත් වේග පන්දු යවන්නන් ආබාධයන්ට ලක්වීම ගැටලුවක් බවට පත්ව තිබේ. ළහිරැ කුමාර එක්දින කණ්ඩායමට කැඳවීමට මේ වනවිට කාලය පැමිණ තිබේ. ළහිරු හොඳින් වේගපන්දු යවන මේ කාලය තුළදී ඔහුගෙන් උපරිම ප‍්‍රයෝජනය ගැනීමට තේරීම් කමිටුවට ඥානය පහළ විය යුතුය.
සිම්බාබ්වේ ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලට වාසනා ගුණය ද එතරම් නොපිහිටි බවද කිවයුතුය. එසේම තරගයේ අවසන් බාගය වන විට සිම්බාබ්වේ පිලෙන් වාසනාව මෑත් වී තිබුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ හඹාගොස් ලැබූ ඉහළතම ටෙස්ට් ජයග‍්‍රහණය ලැබීමට සමත් විය.
උපුල් තරංග සහ ඩිල්රුවන් පෙරේරා හොඳින් ලකුණු රැස්කරමින් සිටියදී පළමු ඉනිමේදී දුවද්දී දැවී ගිය ආකාරය වාසනාව නොතිබුණු බවට හොඳම උදාහරණයකි.
එක්දින තරගාවලි පරාජයෙන් පසුව නායකයා පමණත් ඉවත්වීම ප‍්‍රමාණවත් නොවන බව නැවතත් අවධාරණය කළ යුතුය. සනත් ජයසූරියගේ සභාපතිවත්වයෙන් යුත් තේරීම් කමිටුව ද කල්ඉකුත් වූ භාණ්ඩයක් බවට පත්ව තිබේ.
ක‍්‍රිකට් ලොක්කන්ගෙන් බලපෑම් ඇති බවට කියූ තේරීම් කමිටුව මාස හයක සේවා දිගුවක් ද ලබාගෙන තිබේ. තේරීම් කමිටුවක එකම පිරිසක් වැඩි කාලයක් සිටීම ක‍්‍රීඩාවට හානියක් බව ඉතිහාසය පිරික්සීමෙන් මනාව පැහැදිලි වේ.
වරකාගොඩ ගමගේ