2017 ජුලි 29 වන සෙනසුරාදා

ක්‍රිකට් ආයතනයේ බහිරවයෙක්!

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 134

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නිලධාරියකු යැයි කියන පුද්ගලයකුගේ මාර්ගයෙන් කණ්ඩායමේ රහස්‍ය තොරතුරු ඇතැම් පාර්ශවයන් වෙත ලැබෙන බවට ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කථාවක් පැතිර යයි. මෙහි බරපතළ තත්ත්වය බවට පත්ව ඇත්තේ තරගවලට සහභාගි වන කණ්ඩායම් වැනි අතිශයින් රහස්‍ය තොරතුරු පවා මෙම පුද්ගලයා ඔස්සේ තරග මුදලට පවා දෙන්නන් වෙත ද ලැබීමට ඉඩ තිබීමය. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් සංචිත ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබීමට පෙර ඇතැම් සමාජ වෙබ් අඩවිවල පළවන්නේ ද මෙම පුද්ගලයාගේ මැදිහත්වීම මත බවට බොහෝ දෙනා විශ්වාස කරති. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයට එන ඕනෑම ලොක්කකුට ගතු කියමින් වැටුප් ලබන තනතුරක් ලබා ගැනීමට උපන් හපන් යැයි කියන මෙම පුද්ගලයා මීට පෙර ක‍්‍රීඩාංගණයක තනතුරක් දැරූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවේ උසස් තනතුරකින් හොර රහසේම ඉවත්ව ගිය බව කියන නිලධාරියකුට සම්බන්ධ ක‍්‍රීඩා සමාජයක තනතුරක්ද දරන්නේ යැයි කියන මෙම පුද්ගලයා අනෙක් ලොක්කාගේ තොරතුරු කනේ තියෙන බව වාර්තා වේ.

දිස්ත‍්‍රික් ක‍්‍රිකට් නිලවරණයකදී ඡන්දය ප‍්‍රකාශ කිරීම මත තනතුරු නිර්මාණය කර ගන්නා මෙම පුද්ගලයා තමන් කණ්ඩායමේ කෙරුමා බව පෙන්වීමට ආරක්‍ෂක අංශයක ආකාරයට ඇඳුම් අදින බව දැනගන්නට තිබේ. ක‍්‍රීඩකයන්ගේ ඇතැම්  ඕනෑ එපාකම් ඉටුකර දෙමින් ක‍්‍රීඩකයන් පිරිසක් තමන්ගේ මතයට නතුකරගෙන සිටින්නේ යැයි කියන පුද්ගලයා කණ්ඩායමේ සෙසු නිලධාරීන්ට පොලිස් පාට් දමමින් පාලනය කරන තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. 
ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුවන් දෙදෙනකු සිටියදී මෙම පුද්ගලයා ඇතැමුන්ට මුණ ගැස්වීමට ක‍්‍රීඩකයන් යොමු කරන බවද ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ. 

මීට වසරකට පමණ පෙර ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සේවයට පැමිණි ඉන්දීය ජාතික නිලධාරියකුට ක‍්‍රිකට් ආයතනය ලබාදී තිබූ ඇඳුම් කට්ටලය ගලවා ගත් බවට සහ ඔහුගේ ගමන් බෑගය අස්ථානගත වීම සම්බන්ධයෙන්ද මෙම නිලධාරියාට චෝදනා එල්ල විය. 

මොහු ක‍්‍රීඩාංගණයක තනතුරක් දරද්දී එහි සේවකයන් ඔහුගේ ගෙවත්තේ කටයුතු සඳහා යොදවාගත් බව තතු දන්නෝ පවසති. මෙම පුද්ගලයාගේ ක‍්‍රියා කලාපය පිළිබඳව ක‍්‍රිකට් ආයතනයේ උසස් තැන්වලටද තොරතුරු ලැබී තිබුණද මේ දක්වා ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත.  

♦ වරකාගොඩ ගමගේ 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00