2017 ජුලි 29 වන සෙනසුරාදා

තිරිමාන්න යළිත් කරළියේ

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 267

ළහිරු තිරිමාන්න ජාතික ක‍්‍රිකට් පිලේ හිටපු උපනායකයකු මෙන්ම ඉදිරිපෙළ පිතිකරුවෙකි. තිරිමාන්න අඛණ්ඩව අසාර්ථකවීම හේතුවෙන් පසුගිය වසරේ එංගලන්ත සංචාරයේදී කණ්ඩායමේ ස්ථානය අහිමිවිය.  ඉන්පසුව ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ඇතුළත් කර තිරිමාන්න සාර්ථක කරවීමේ උත්සාහයක නිතර වුවද එම සියලු උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු ඔහු මාස කීපයක් නිහඬව සිටියේය. තිරිමාන්න මේ වනවිට නැවතත් කරළියට පැමිණ සිටියි. ඔහු කරළියට පැමිණියේ සිම්බාබ්වේ ටෙස්ට් තරගයට පෙර වුවද ශ්‍රී ලංකාව ඉතිහාසගත එක්දින තරගාවලි පරාජයකට පත්ව වැටී සිටීම හේතුවෙන් කළඑළි බැස්සේ නැත. 

ඉන්දීය පිලට එරෙහිව සී.සී.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති පුහුණු තරගයේදී කෞෂාල් සිල්වා, අෂාන් ප‍්‍රියංජන් සහ ධනුෂ්ක ගුණතිලක පැත්තකින් තබා ක‍්‍රිකට් සභාපතිවරයාගේ පිලේ නායකත්වයට තිරිමාන්න පත්කිරීමට කටයුතු කළේය. තිරිමාන්න එහිදී ලකුණු 59 ක් රුස්කළ අතර එම අර්ධ ශතකය පෙරමුණට තබා ඔහු ටෙස්ට් පිලට ගෙන ඒමේ මෙහෙයුම දැඩිකර තිබුණි. 

ඉන්දීය පිලට එරෙහිව ගාල්ලේදී පසුගිය බදාදා ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයට චන්දිමාල්ගේ ස්ථානයට තිරිමාන්න ගෙන ඒමට සාකච්ඡා කළද ඇතැම් තේරීම් කමිටු සාමාජිකයන්ගේ විරෝධය හේතුවෙන් ධනංජය ද සිල්වාට එම ස්ථානය හිමිවිය. මෙම තත්ත්වය හේතුවෙන් ගාල්ල ටෙස්ට් තරගයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා සංචිතයේ පිතිකරුවන්ට වඩාත් පරිස්සමට පන්දුවට පහරදීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වී තිබුණි.

ටෙස්ට් තරගයේදී ඉදිරිපෙළ පිතිකරුවකු අසාර්ථක වීම තේරීම් කමිටුවට “අඬන්න ඉන්න පුද්ගලයාට ඇඟිල්ලෙන් අනිනවා” වැනි උදව්වකි. “එහෙනම් අපි මේ ටෙස්ට් තරගය බලමු. කවුරු හරි අසාර්ථක වුණොත් තිරිමාන්නව ගේමු. දැන් එයා පුහුණු තරගයේදී පනහක් ගැහුවනේ” යැයි තේරීම් කමිටු නිලධාරියකු පවසා ඇති බව වාර්තා වේ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ පසුගිය සති කීපය පුරාම ක‍්‍රීඩකයන්ගේ කළමනාකරැවකු වන සුදු ජාතික චාලි ඔස්ටින් පිළිබඳව කථා කළේය. ඔහු ජාතික කණ්ඩායමේ තේරීම්වලට පවා බලපෑම් කරන බවට චෝදනා එල්ල විය. තිරිමාන්න පිටුපස සිටින්නේද ඔහුගේ කළමනාකරු යැයි කියන නමගිය පුද්ගලයකු බව ප‍්‍රසිද්ධ රහසකි. එම කළු සුද්දා ද තමන්ගේ ක‍්‍රීඩකයන් ඉදිරියට ගෙන ඒමට නොකරන දෙයක් නැති තරම්ය. වර්තමාන ක‍්‍රිකට් පරිපාලනයේ ක‍්‍රිකට් ලොක්කන්ගේ ගජ මිතුරකු වන මෙම පුද්ගලයා තිරිමාන්න ගෙන ඒමේ මෙහෙයුමේ තිරය පිටුපස සිටියි.

තිරිමාන්න වැනි ක‍්‍රීඩකයකු නැවත ගෙන ඒමට වඩා අවිෂ්ක ප‍්‍රනාන්දු, සදීර සමරවික‍්‍රම, සම්මු අෂාන් වැනි වඩාත් තරුණ ක‍්‍රීඩකයකු ගෙන ඒම ශ්‍රී ලංකා ක‍්‍රිකට් අනාගතයට වඩාත් ඵලදායි වේ. එවැනි ක‍්‍රීඩකයකුට අත්දැකීම් ලබාදීමෙන් වැඩි කාලයක් සේවය ලබා ගැනීමේ අවස්ථාව තිබේ. කෞෂාල් සිල්වා වැනි ක‍්‍රීඩකයන් ඉවත් කර තිරිමාන්න ගෙන ඒමේ ප‍්‍රතිඵලයක් ඇත්තේ ඔහුගේ සැඟවුණු කළමනාකරුට මිස වෙන කිසිවකුට නොවේ.

තිරිමාන්න වැනි ක‍්‍රීඩකයකු ටෙස්ට් සංචිතයට ගෙන ඒමට අර්ධ ශතක කෑල්ලක් කොහෙත්ම ප‍්‍රමාණවත් නොවේ. ඔහු ශතක කීපයක් රැස්කර දැඩි විශ්වාසවත්ත තත්ත්වයකට පත්ව සිටින්නේ නම් අවස්ථාව ලබාදීමේ වරදක් නැත. පුහුණු තරගයේදී අර්ධ ශතකයක් රැස්කළ ධනුෂ්ක ගුණතිලක ගාල්ල ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් ලබාදීමට තේරීම් කමිටුව කටයුතු කිරීම ද පැසසුමට ලක්කළ යුතුය. 

වමතින් දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාරට ගාල්ලේදී ටෙස්ට් වරම් හිමිවනු ඇතැයි විශ්වාස කළ ද රංගන හේරත් සමඟ තවත් වමත් දඟපන්දු යවන්නකු ක‍්‍රීඩා කිරීම ඵල රහිත වීම හේතුවෙන් මාලින්දට ටෙස්ට් අංක ලැබීම තවත් ප‍්‍රමාද කිරීමට සිදුවිය.   

ඩිල්රුවන් 92යි

ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ පසුගිය සිකුරාදා දිවා විවේකයෙන් සුළු වේලාවකට පසුව ශ්‍රී ලංකා පිල ලකුණු 291ක් රැස්කරමින් තවත් ලකුණු 309 ක් පසු පසින් සිටිමින් සිය ප්‍රථම ඉනිම අවසන් කළේය.

ඩිල්රුවන් පෙරේරා අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් නොදැවී ලකුණු 92ක් රැස්කර සිටිෙය්ය.

ශ්‍රී ලංකා තුන් ඉදිරියව් ක‍්‍රීඩක අසේල ගුණරත්න පළමු දිනයේ උඩ පන්දුවක් රැකගැනීමට ගත් උත්සාහයකදී තුවාල ලැබීමෙන් තරගයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට සිදුවීම දැඩි පාඩුවක් බවට පත්විය. 

♦ විශේෂ ලියුම්කරුවකු විසිනි 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00