ටොරින්ටන් පෙදෙසේ පාපන්දු නිවසින් පසුගිය සතියේ ‘පුංචි සක්විති’ කෙනෙක් සොයා ගැනීමට හැකිවිය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මූල්‍ය අංශයේ සේවය කළ නිලධාරියකු වසර හතරකට පමණ කාලයක සිට ඉතාමත් සූක්‍ෂම ලෙස රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වංචා කර ඇති බවට පාපන්දු සම්මේලනයේ නව පරිපාලනය හෙළිකර ගෙන තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසයේ වැටුප් ලබන සේවයකු වංචා කළ බවට හෙළිවී ඇති විශාලතම මුදල මෙය බවට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ පවසති. මෙම නිලධාරියා 2013 වසරේ සිට පාපන්දු සම්මේලනයේ ගිණුම් අංශයේ ප‍්‍රධාන තනතුරක් දරා ඇති බවත් ඔහුගේ කාලය තුළ සිදුවූ ගනුදෙනු පිළිබඳව විගණනයක් කිරීමට නියමිත බවත් වාර්තා වේ.
මෙම පුද්ගලයා පාපන්දු සංගමයේ නිල බැංකු ගිණුමෙන් වසර කීපයක සිට මුදල් ලබාගෙන තිබේ. එහිදී ඔහු පාපන්දු සංගමයේ නිලධාරීන්ගේ අත්සන් ඉතාමත් සූක්‍ෂම ලෙස පාවිච්චි කර ඇති බවට මේ වන විට හෙළිවී ඇති තොරතුරුවලින් කියවේ.
පාපන්දු සම්මේලනය කිසියම් ගෙවීමක් සඳහා බැංකුවට අදාළ නිලධාරීන්ගේ අත්සන් ඇතුළත් ලේඛනය ෆැක්ස් මාර්ගයෙන් යොමු කිරීම සාමාන්‍ය ක‍්‍රමවේදයයි. ෆැක්ස් පණිවුඩ යැවීමේදී ඡායාපිටපත් ලබාගෙන එය යොමු කිරීම බොහෝවිට සිදුවේ. මෙම පුද්ගලයා වංචාව සඳහා ඡායාපිටපත් මගින් ෆැක්ස් යොමුකිරීම යොදාගෙන ඇති බව වාර්තා වේ.
කිසියම් ගෙවීමක් සඳහා පාපන්දු බලධාරීන් අත්සන් යොදා සිද්ධියට සම්බන්ධ නිලධාරියාට යොමු කළවිට ඔහු ගෙවීම් ලේඛනයේ මුදල වෙනස්කර වෙනත් ලේඛනයක් සකස් කර එයට අත්සන් ලේඛනය අමුණා බැංකුවට ඉදිරිපත් කිරීමෙන් මෙම මූල්‍ය වංචාව කර ඇති බව වාර්තා වේ. පාපන්දු සංගමයේ පසුගිය මස වැටුප් සඳහා ගෙවීමට බැංකුවෙන් මුදල් ලබාගැනීමට ඉදිරිපත් කළ ලේඛනය පිළිබඳව විමසිලිමත් වීමේදී එම ලේඛනය ද වෙනස්කර වැඩි මුදලක් යොදා තිබීමෙන් මෙම වංචාව හෙළි වී ඇති බව වාර්තා වේ.
උදාහරණයක් ලෙස ජූලි මස වැටුප් ගෙවීමට රුපියල් මිලියන 2 ක් බැංකුවෙන් ලබා ගැනීමට අත්සන් සහිතව යොමු කළේ නම් ඔහු එය මිලියන 2.5 ක් ලෙස ලක්‍ෂ 5 ක් වැඩියෙන් ලබා ගනී. වයස 33 ක පමණ පුද්ගලයකු යැයි කියන මෙම පුද්ගලයා පාපන්දු සම්මේලනයේ සේවයට පැමිණීමට පෙර විදේශ රටකද සේවය කර ඇති බව දැනගන්නට තිබේ.
මොහු වසර කීපයක් මෙවැනි දැවැන්ත වංචාවක් කරමින් සිටියදී පාපන්දු බලධාරීන් උඩ බලාගෙන සිටියේද යන ගැටලුව මතුවේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට ද පැමිණිලි කර ඇති බව වාර්තා වේ. මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමකදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවසුවේ පාපන්දු සංවර්ධනයට මුදල් නොමැතිව සංගමය සිටින අවස්ථාවක මෙවැනි දැවැන්ත මුදලක් අහිමිවීම කණගාටුදායක තත්ත්වයක් බවයි.
“අපි ඒ පුද්ගලයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න කටයුතු කරමින් ඉන්නවා” යැයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
♦ සටහන: භාසුර