ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනය තුළ අතයට ගනුදෙනු සහ මුදල් නාස්ති සිද්ධීන්ගේ රතු ඉර පැන ගොස් බොහෝ කාලයක් ගතවී තිබේ. එය එසේ වුවද කිසිදු වගකිවයුත්තෙක් ඒ පිළිබඳව ඇස් ඇර බැලීමට හෝ සූදානමක් නොමැති බව පෙනේ.
ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ නායකයා වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පමණක් විටින් විට ඇතැම් සිද්ධීන් පිළිබඳව කථා කළ ද ඒවා කථාවට පමණක් සීමාවී තිබේ.
ඉන්දීය පිලේ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ගජරාමෙට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් චෙක්පත් නිකුත් වෙන බවත් ඒවායෙන් ඇතැමුන්ගේ සාක්කු පිරෙන බවත් තතු දන්නෝ පවසති.
ඉන්දීය සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රීඩා ලෝලීන්ගේ උනන්දුව වැඩි කිරීමට කොළඹ ප‍්‍රධාන ස්ථාන රැසක ක‍්‍රීඩකයන්ගේ විශාල රුව සහිත පුවරු සවිකර තිබේ. තවත් පුවරු තොගයක් ක‍්‍රිකට් ආයතනය තුළ ඇති බව ද දැනගන්නට තිබේ.
මෙම පුවරු කොන්ත‍්‍රාත්තුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් දෙදෙනකුට මුදල් කුට්ටියක් වෙන්ව ඇති බවට කතා පැතිර යයි. මෙම පුවරු ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා මිලියන ගණනක මුදලක් වැය කර ඇති බව ද පැවසේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන තනතුරක් දරන්නේ යැයි කියන තරග පාවාදීමකටද නම ගෑවුණ නිලධාරියකුට සහ ක‍්‍රිකට් ප‍්‍රධානියකුගේ දකුණු අත ලෙස හඳුන්වන පුද්ගලයකුට මුදල් කුට්ටිය බෙදී ගොස් ඇති බවට කියවේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වැනි ප‍්‍රධානතම ආයතනයක් මෙවැනි ගනුදෙනුවකදී මිල ගණනක් කැඳවා ටෙන්ඩර් මණ්ඩලයක් ඔස්සේ කටයුතු කිරීම අනිවාර්ය සාධයකි. නමුත් මෙහිදී එවැනි දෙයක් සිදුවූයේ ද යන්න සැක සහිතය.
දෙවැනි ටෙස්ට් තරගය සඳහා කොළඹ තුරැ පංතියේ හෝටලයකින් ක‍්‍රීඩාංගණයට සැපයූ කෑම වැඩි ප‍්‍රමාණයක් අහක දැමූ බව දැනගන්නට තිබේ. අහක දැමූ කෑමවල වටිනාමක ද මිලියන ගණනක් බව පියවි ඇසින් දුටුවෝ පවසති.
තරගය නැරඹීමට සූදානම් කර තිබූ විශේෂ කුටිවලට ආහාර සැපයීම සාමාන්‍ය තත්ත්වයකි. නමුත් එම තරගය නැරඹීමට ඉතාමත් අඩු පේ‍්‍රක්‍ෂක පිරිසක් පැමිණ සිටි අතර එම පිරිස මෙන් කීප ගුණයකින් ආහාර ඇනවුම්කර තිබූ බව වාර්තා වේ.
එම ඉතිරි ආහාර පස්වරුවේ සැපයුම් කළ හෝටලයේ වාහනයෙන්ම නැවත රැගෙන ගිය බව ද වාර්තා වේ. මෙහිදී ඇනවුම වැඩි වෙත්ම ඇතැම් විට ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියකුගේ සාක්කුවේ බර ද වැඩි වීමට ඉඩ තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තුළ පිං පඩි ලබන්නන් පැටව් ගසමින් තිබෙන බව වාර්තා වේ. ඇතැම් තනතුරුවට නව බඳවා ගැනීම් සඳහා සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වුවද එම තනතුරට පිං පඩි ගන්නාගේ සේවය අවසන් නොවන බව ද දැනගන්නට තිබේ.
මොරටුව පැත්තේ පුද්ගලයකු කිසිදු රාජකාරියක් නොමැතිව රුපියල් ලක්‍ෂ දෙකකට ආසන්න දීමනාවක් ලබන බවත් ඔහුට කාර්යාලයට පැමිණීමට ක‍්‍රිකට් ආයතනයේ සිට මොරටුවට වාහනයක් ද ලබාදිය යුතු බවත් වාර්තා වේ.
මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයද උකසට තබන්නට වන කාලය වඩාත් ළඟ ළඟම බව නම සඳහන් කිරීමට අකැමැති හිටපු ප්‍රවීණ නිලධාරියෙක් පැවැසීය.
සටහන: විශේෂ ලියුම්කරුවකු විසිනි