2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

ලංකාවේ තණතීරු ගැන ඉන්දියාවේ මවිතය

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 205

ගාල්ල ටෙස්ට් තරගයට වේගපන්දු යවන්නන්ට වාසිදායක තණතීරුවක් ලැබුණම මම පුදුමයට පත්වුණා යැයි ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ තේරීම්වලට සම්බන්ධ නිලධාරියකු සිය ශ‍්‍රී ලාංකික මිතුරකුට පවසා ඇති බව දැනගන්නට තිබේ.

ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින්නේ යැයි කියන එම නිලධාරියා පවසා ඇත්තේ ශ‍්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතා තමා දන්නා නිසා තමන් ප‍්‍රබල දඟපන්දු යවන්නන් දෙපළට අමතරව කනිෂ්ඨ දඟපන්දු යවන්නකු ද රැගෙන ආ බවයි. 

මම දන්නවා නම් ජඩේජා සහ අෂ්වින් ගේන්නේ නෑ. අපි ඒ දෙන්නවම එක්දින තරගාවලියෙන් විවේක ගැන්වුවා. කෝලිවත් මහන්සි කරන්න බලාපොරොත්තුවක් නෑ යැයි ඔහු පවසා තිබේ. 

ගාල්ල ටෙස්ට් තරගයේදී ඉන්දීය පිලට වේගපන්දු යවන්නන් වන මොහොමඩ් ශමි, උමේෂ් යාදේව් සහ හර්දික් පාණ්ඩ්‍යා ක‍්‍රීඩා කළහ. ඉන්දියාව එම තරගයේදී චයිනමන් පන්දු යවන කුල්දීප් යාදේව් තෙවැනි දඟපන්දු යවන්නා ලෙස ක‍්‍රීඩා කරවීමට සූදානමින් සිටි බව එම නිලධාරියා හෙළිකර තිබේ. 

එම තරගයේදී ශ‍්‍රී ලංකා පිලට වේගපන්දු යවන්නන් ලෙස ළහිරු කුමාර සහ නුවන් ප‍්‍රදීප් ක‍්‍රීඩා කළහ. පළමු ඉනිමේදී නුවන් ප‍්‍රදීප් කඩුලු 6ක් සහ ළහිරු කුමාර කඩුලු 3ක් සමගින් කඩුලු 9ක් වේගපන්දු යවන්නන් වශයෙන් දවාගත්හ. 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම පන්දු යවන්නා වන රංගන හේරත්ට දවාගත හැකිවූයේ කඩුල්ලක් පමණි. ගාල්ල තරගයේදී ශ‍්‍රී ලංකා පිලේ කඩුලු 20න් කඩුලු 6ක් වේගපන්දු යවන්නෝ දවාගත්හ.

ඉන්දියාව අවසන් ටෙස්ට් තරගයේදී 22 හැවිරිදි චයිනමන් පන්දු යවන කුල්දීප් යාදේව්ට අවස්ථාව ලබාදුන් අතර ඔහු කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.  

මෙම තරගාවලියේදී සත්කාරත්වයේ වාසිය ලබා ගැනීමට ශ‍්‍රී ලංකාව තණතීරු සකස් කළේද යන සැකය බොහෝ දෙනකුට තිබූ අතර එම ඉන්දීය නිලධාරියාගේ ප‍්‍රකාශයත් සමඟ සැකය තවදුරටත් වර්ධනය වේ.

එම තරගාවලියේදී ශ‍්‍රී ලංකාව දඟපන්දු යවන්නන් වන රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරාගෙන් උපරිම ප‍්‍රයෝජනය ගැනීමට තණතීරු සකස් නොකළ බව පැහැදිලි යැයි සමහරුන්ගේ මතය වී තිබේ.
  
 විශේෂ ලියුම්කරුවකු විසිනි