2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

මොනවද මේ බාලාංශ වැඩ!

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 161

පුද්ගලයකු හෝ නිලධාරියකු කළ යුතු සහ නොකළයුතු ලෙස කාර්යයන් තිබෙන බව බොහෝ දෙනකුගේ පිළිගැනීමයි.  ඕනෑම කෙනකු තමන්ට කළ යුතු දේ නිවැරදිව ඉටු කරන්නේ නම් එය රටට මෙන්ම තමන්ට ද ඇඟට ගුණය. 

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගිය සෙනසුරාදා දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පසුදින තරගයට සකස්කර තිබූ තණතීරුව පරීක්‍ෂා කිරීමට ගියේය. ක‍්‍රීඩා අමාත්‍යවරයාට තණතීරුව පරීක්‍ෂා කිරීමට ඇති උවමනාව සහ හැකියාව පිළිබඳව මෙහිදී ගැටලුවක් මතුවේ. ක‍්‍රීඩා ඇමතිවරයා තණතීරුව පරීක්‍ෂා කිරීමට පෙර ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයට එල්ල වී ඇති චෝදනා පිළිබඳව සොයා බැලුවේ නම් ෙප්‍ර්ක්‍ෂකයන්ගේ ‘හූ’ හඬ මතු නොවන්නට ඉඩ තිබුණි. 

එම චෝදනා ‘බීරි අලින්නට වීනා වයන්නාක් මෙන්’ යැයි ක‍්‍රිකට් පරිපාලනයේ බොහෝ දෙනා පවසති. ක‍්‍රීඩා අමාත්‍යවරයාට දඹුල්ල ක‍්‍රීඩාංගණයට යෑමට එදින කිසිදු අවශ්‍යතාවක් නොතිබූ අතර එහිදී බොරු ෂෝ එකක් දැමීම එකම අරමුණ වී තිබූ බව බොහෝ දෙනා පවසති පෙනෙන්නට තිබිණි. එහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ හමුවී තිබේ. එම හමුවේදී අසංක ගුරුසිංහ අමාත්‍යවරයා සහ ක‍්‍රිකට් සභාපතිවරයා ඉදිරියේ බිම වාඩිවීම ශ්‍රී ලංකා හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට කළ අගෞරවයක් යැයි බොහෝ දෙනා‍ෙග් අදහසය. 

අසංක ගුරුසිංහ යනු ශ්‍රී ලංකාව මිහිපිට පවතින තාක්කල් බිඳ නොහැකි වාර්තාවක් තබමින් 96 විල්ස් ලෝක ශූරතාව දිනූ ශ්‍රී ලංකා පිලේ සාමාජිකයෙකි. ක‍්‍රීඩා අමාත්‍යවරයා මෙම පරීක්‍ෂාව සඳහා කැඳවාගෙන ගොස් ඇත්තේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා බව කියති. රජයේ ප‍්‍රබලයන් තමන් ළඟින් ඇසුරු කරන බව පෙන්වීමේ මේනියාවක් සභාපතිවරයාට ඇති බව ක්‍රිකට් ප්‍රවීණයන්ගේ මත වී තිබේ.

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ලෝක ශූරතා තරගාවලියට පිටත්ව යෑමට පෙර ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කැඳවා තිබුණි. අන්තර්ජාතික තරගයක් පැවැත්වෙන අවස්ථාවකදී ඔහුගේ පුටුව අසළින් අවස්ථාවෙන් අවස්ථාවට පොලිස්පතිවරයා ඇතුළු ප‍්‍රභූන් කීප දෙනෙක් වාඩි කරවාගෙන එය රූපවාහිනියන් ප‍්‍රචාරය කරවා ගැනීමටද සභාපතිවරයා පියවර ගත්තේය. 

එක්දින පිලේ නායක උපුල් තරංග තරගාවලිය ආරම්භ වීමට පෙර ඉතාමත් යටහත් පහත්ව ශ්‍රී ලංකා ෙප්‍ර්ක්‍ෂකයන්ගේ කණ්ඩායමට සහයෝගය ලබාදෙන ඉල්ලමින් නිවේදනයක් නිකුත් කර තිබුණි. එම නිවේදනය ද උපුල් තරංගගේ අදහසක් නොවන බවත් එයට ඔහු අත්සන පමණක් යෙදූ බවත් තතු දන්නෝ පවසති. 

දඹුල්ල පරාජයෙන් පසුව පුහුණුකරු නික් පොතාස් පැවසුවේ කණ්ඩායමට උපදේශකයන් වැඩි වී ඇති බවයි. එයින් පෙනී යන්නේ ක‍්‍රිකට් ලොක්කන්ගේ ඇඟිලි ගැසීම් නොඅඩුව තිබෙන බවයි. ක‍්‍රිකට් පාලකයන් නිවැරදිව කටයුතු කරන්නේ පේ‍්‍රක්‍ෂකයන්ට යැදීමට කිසිදු අවශ්‍යතාවක් නොමැත.

♦ විශේෂ ලියුම්කරුවකු විසිනි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00