2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

වැරැද්ද කාගෙද? කොහේද?

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 152

අකිල ධනංජයගේ සුවිශේෂි පන්දු යැවීම ගඟට කැපූ ඉනිමෙන් අපතේ යමින් පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව කඩුලු 3 ක පරාජයක් ලැබීය. 

තරග පහකින් සමන්විත මෙම එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තරග දෙකක් ජය ලැබීමේ අභියෝගයට මුහුණදී සිටින ශ්‍රී ලංකා පිල බ‍්‍රහස්පතින්දා ලැබූ දෙවැනි පරාජයත් සමඟ දැඩි මානසික පීඩනයකට පත්විය. 

ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ ප‍්‍රසාද ලකුණු දෙකක් හිමිකරගෙන ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 90 ක් බවට පත්කර 2019 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් තරග දෙකක් ජය ලැබීම අනිවාර්ය වී තිබේ.

පල්ලෙකැලේ තරගය ජයග‍්‍රහණය කිරීමට තිබූ අවස්ථාව මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 45) සහ බුවනේෂ්වර් කුමාර් (නොදැවී 53) 8 වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 100 ක නොබිඳුණු සම්බන්ධතාව හේතුවෙන් මග හැරුණි. 
මෙහිදී නැවත වරක් ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් හුදෙක්ම පන්දු යවන්නන් පමණක් බවත් පීඩනයක් යොමු කිරීමේ හැකියාවක් නැති බවත් ප‍්‍රදර්ශනය විය.

ඉන්දියාව 16 වැනි  ඕවරය ආරම්භ වන විට කිසිවකු නොදැවී ලකුණු 109 ක් ලබා පහසුවෙන් ලකුණු 231 ට යනු ඇතැයි විස්තර විචාරකයෝ කිසිදු චකිතයකින් තොරව ප‍්‍රකාශ කරමින් සිටියහ. 

එහිදී ක‍්‍රියාත්මක වූ අකිල ධනංජය (54/6) කඩුලු හයක් දවා ගැනීමත් සමඟ 22 වැනි  ඕවරයේ 5 වැනි පන්දුව වන විට ඉන්දියාව කඩුලු 7 කට ලකුණු 131 ක් බවට පත්විය. පිට දඟ පන්දු යවන අකිල ‘පා දඟ’ පන්දුව අවියක් බවට පත්කර ගනිමින් ප‍්‍රබල පිතිකරුවන් වන ලෝකේෂ් රාහුල්, කීදර් යාදෙව් සහ විරාට් කෝලි පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දවා ගැනීම කැපී පෙනුණි.

මෙහිදී ශීකර් ධවාන් දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් රැකගත් අති විශිෂ්ට උඩ පන්දුව ද අමතක කළ නොහැක.   
පළමු තරගයට ක‍්‍රීඩා කළ ලක්‍ෂාන් සඳකැන්, තිසර පෙරේරා සහ වනිඳු හසරංගට කණ්ඩායමේ ස්ථාන අහිමිවූ අතර මිලින්ද සිරිවර්ධන, දුෂ්මන්ත චමීර සහ අකිල ධනංජය යන තිදෙනා පල්ලෙකැලේ තරගයට කැඳවා සිටියහ. 

ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවට අමුතු ලෙඩක් වැළදී ඇති බව මෙම තරග දෙක දෙස බැලීමේදී ඇතැමෙකුට සිතෙන්නට පුළුවනි. පල්ලෙකැලේදී ශ්‍රී ලංකා පිලේ ඉදිරි පෙළ කඩා වැටුණි. දඹුල්ලේදී මැද සහ පසු පෙළ කඩා වැටුණි. ප‍්‍රවේගකාරී පිතිකරුවන් වන ධනුෂ්ක ගුණතිලක පන්දු 37 කින් ලකුණු 19 ක් ද, කුසල් මෙන්ඩිස් පන්දු 48 කින් ලකුණු 19 ක් ද, ලබා දැවීයෑමෙන් ඉනිම තරමක් මන්දගාමී විය.

මෙම දෙපළ මන්දගාමී වීම ඇතැම් විට ඉහළින් ලැබුණු උපදෙසක් වන්නට ද පුළුවනි. 

උපුල් තරංග නැවතත් අසාර්ථක වීමෙන් මෙන්ම ඇන්ජලෝ මැතිව්ස් අන්තය ආරක්‍ෂාකර ගැනීමට අපොහොසත්වීමෙන් ලකුණු වේගය අඩාල විය. 

මෙම තරගයේදී කැඳවීම් ලැබූ මිලින්ද සිරිවර්ධන (58) සහ චාමර කපුගෙදර (40) හයවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 91 ක සම්බන්ධතාව නොවන්නට ශ්‍රී ලංකාවට ලකුණු 200 සීමාවට ළඟාවීම සිහිනයක් වීමට ඉඩ තිබුණි. 

ඉන්දීය පිලට එරෙහිව දඹුල්ලේදී පැවැති එක්දින තරගයෙන් කඩුලු 9 ක පරාජයක් ලැබීමේ වගකීම ශ්‍රී ලංකා පිලේ පසු පෙළ පිතිකරුවන් බාරගත යුතුය. 

ශ‍්‍රී ලංකා පිල 27 වැනි  ඕවරය අවසන් වන විට කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 150 ක් රුස්කර ප‍්‍රබල තත්ත්වයක පසුවිය. කෙසේ වෙතත් ඉතිරි කඩුලු 8 ට ලකුණු 66 කට බිඳ වැටීමෙන් අගාදයට ඇද වැටුණි. 

ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල (64) සහ ධනුෂ්ක ගුණතිලක (35) සාර්ථක සම්බන්ධතාවක් පැවැත්වුවද පුහුණුකරුවන් ඔවුන්ට තවමත් කියා නොදුන් පාඩම් ඇති බව පැහැදිළි විය. මෙම ක‍්‍රීඩකයන් දෙදෙනා ලකුණු 35 ක් හෝ 40 ක් රැස්කිරීමෙන් පසුව කඩුල්ල විසිකරති. සාර්ථක ආරම්භයක පැමිණෙන තෙක් ‘ස්වියිප් සහ රිවර් ස්වියිප්’ ගැසුව ද ලකුණු පුවරුවේ ලකුණු තියෙන විට කළ කාර්ය ඔවුහු නොදනිති.  ධනුෂ්ක ‘රිවර් ස්වියිප්’ පහරක් ගසා දැවී ගිය අතර දික්වැල්ල ‘ස්වියිප්’ පහරක් ගසා දැවී ගියේය.

පසු පෙළ පිතිකරුවන් වන චාමර කපුගෙදර සහ වනිඳු හසරංග කළ යුතුව තිබුණේ ඇන්ජලෝ මැතිව්ස්ට සහයෝගය ලබාදීමය. කපුගෙදර දුවද්දී දැවී ගියේය. වනිඳු ලොකු පහරකට ගොස් උඩ පන්දුවක් ලබා දුන්නේය. 

උපුල් තරංග ‘ෆුල්ටොස්’ පන්දුවක් යැයි අනුමානකර කර ගැසූ පහරින් පසුගිය සංචාර කීපයේම බලාපොරොත්තුව වූ තරංගගේ සේවය අහිමිවිය.

මේ අතර ශ්‍රී ලංකා පිලේ පරාජයට හේතු සෙවීමට සහ නව යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කරන බව පසුගිය බදාදා ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා තිබුණි.

එම කමිටුවට පත්කර ඇති පුද්ගලයන්ට ක‍්‍රිකට් ක‍්‍රීඩාව පිළිබඳව දැනුමක් තිබේද යන්න මෙහිදී මතුවන ප‍්‍රධානම ගැටලුව බවට පත්වේ. ක‍්‍රිකට් ලොක්කන්ගේ වන්දිභට්ටයන් වීම මෙවැනි කමිටුවකට සුදුසුකමක් නම් එය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අවාසනාව මිස අන්කිසිවක් නොවේ.  

මෙහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයාට මතක් කළ යුත්තේ ‘පය බරවාට පිටිකර බෙහෙත් බැන්දාට’ පළක් නොවන බවයි. 

♦ වරකාගොඩ ගමගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00