ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් මේ වන විට මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය වෙනුවෙන් අතුරු කමිටුවක් පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද වාර්තා වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනය සම්බන්ධයෙන් රජයට චෝදනා එල්ල වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති බව දැනගන්නට තිබේ.
රජයේ අමාත්‍යවරයකු වන හිටපු නායක අර්ජුන රණතුංග මහතා පසුගිය සතියේ ක‍්‍රිකට් පරිපාලනය පිළිබඳව ජනාධිපතිවරයාට සහ අග‍්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමු කර ඇති බව ද වාර්තා වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු මෙන්ම නියෝජ්‍ය කථානායකවරයා වීම ද මෙම ගැටලුව තවත් තීව්‍ර කර තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ 2015 වසරේ ජනවාරි මස 3 වැනිදා පැවැති නිලවරණයෙන් තිලංග සුමතිපාල මහතා සභාපති ධූරයට පත්වීමෙන් පසුව අග‍්‍රාමාත්‍යවරයා ක‍්‍රිකට් පරිපාලනයට මැදිහත්වීමට කටයුතු කළ ද ඉහළ දේශපාලන මැදිහත්වීමකින් එය අතරමඟ නැවතුණි.
සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුව දැන් පැවැත්වෙන ඉන්දීය සංචාරයෙන් පසුව ඉවත්වීමට පසුගිය අඟහරුවාදා තීරණය කිරීමත් සමඟ ක‍්‍රිකට් පරිපාලන අර්බුදය වඩාත් බරපතළ වී තිබේ.
I භාසුර