2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

ලංකාව අතහරින කායවර්ධන රන් පදක්කම

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 167

විශාල ශරීරියන්ට හිමිකම් කියන පුද්ගලයකු ඔලමොට්ටල වැඩක් කළ විට (ඇඟේ හැටියට මොළේ නෑ) යැයි කියති. එම කියමනට වඩාත් ගැළපෙන සිද්ධියක් පසුගිය සතියේ ශ්‍රී ලංකා කායවර්ධන ක‍්‍රීඩාවේ දැකගත හැකිවිය.

ශ්‍රී ලංකා අයෝමය ශූරයකු වන ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ්, දකුණු කොරියාවේ ‘සෝල්’ නුවරදී පැවැති ආසියානු කායවර්ධන තරගාවලියක කිලෝග‍්‍රෑම් 100 බර පංතියේ සහ සමස්ත තරගාවලියේ ශූරයා බවට පත්විය.

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය පවසා තිබුණේ ලූෂන් තහනමකට ලක්වූ ක‍්‍රීඩකයකු බවත් ඔහුගේ ජයග‍්‍රහණය තමන් පිළිනොගන්නා බවත්ය. ඒ පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍යවරයා දැනුම්වත් කිරීමට පියවර ගන්නා බවත් කායවර්ධන නිලධාරීන් වැඩි දුරටත් පවසා තිබුණි.

ලූෂන් 2014 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති ආසියානු කායවර්ධන තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 100 බර පංතියේ රන් පදක්කම දිනාගත් ක‍්‍රීඩකයා ද වේ. 

ඕමානයේ රැකියාව කරන ලූෂන් මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු ජයග‍්‍රහණයක් ලබාගත් අතර ආසියානු ජයග‍්‍රහණයක් ලැබීම පහසු දෙයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. එම තරගාවලියට ආසියාවේ රටවල් 26 කින් ක‍්‍රීඩකයන් සහභාගි වී ඇති බව දැනගන්නට තිබේ.

මෙම තරගාවලිය ලෝක කායවර්ධන සම්මේලනයෙන් කැඩී ගිය පිරිසක් විසින් සංවිධානය කළ තරගාවලියක් යැයි පැවසුණ ද එම තරගාවලියට සහභාගි වීම ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට තහනම් කර තිබූ බවක් නම් දැනගන්නට නැත.  
ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලධාරීන් දෙපිරිසක් අතර කාලය සිට නොවිසිඳුණු විරසකයක් ඇති බව එම ක‍්‍රීඩාවට පිළිබඳව උනන්දුවක් දක්වන සෑම දෙනාම දන්නා කරුණකි. එම විරසකය අධිකරණය සහ පොලීසිය වෙත ද ගිය තත්ත්වයකි.

ලූෂන් ද එහි එක් පාර්ශවයක් අයිතිකරගෙන තිබීම කායවර්ධන සම්මේලනයේ වර්තමාන නිලධාරීන්ගේ උදහසට හේතුව බව දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් එම විරසකය ඉදිරියට යොදා ලූෂන් ලැබූ ජයග‍්‍රහණය සැහැල්ලුවට ලක්කිරීම අනුමත කළ නොහැකිය. 
ලූෂන් ඇතුළු කායවර්ධන ක‍්‍රීඩකයන් පිරිසක් රූපවාහිනී සාකච්ඡාවකදී ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ නිලධාරීන් විවේචනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්‍ෂණයක් පැවැත්වෙන බව දැනගන්නට තිබේ. 

ඕනෑම ක‍්‍රීඩාවක ජාතික සංගමය කළ යුත්තේ ක‍්‍රීඩකයන් රැකගැනීම මිස විනාශ කිරීම නොවේ. මෙම සිද්ධියත් සමඟ පෙනී යන්නේ ශ්‍රී ලංකා කායවර්ධන නිලධාරීන් ක‍්‍රීඩකයන්ගේ දස්කම් ප‍්‍රතික්ෂේප කරන තත්ත්වයකි. එය කායවර්ධන ක‍්‍රීඩාවට සුබදායි තත්ත්වයක් නම් නොවේ. 

රූපවාහිනී සාකච්ඡාවකදී නිලධාරීන් විවේචනය කළේ යැයි කියන සිද්ධිය ශ්‍රී ලංකාවට ලැබෙන ගෞරවය අහිමිකර ගැනීමට තරම් බරපතළ සිද්ධියක් නොවේ යැයි බොහෝ දෙනෙකුගේ මතයයි. 

ශ‍්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ සභාපති කිත්සිරි ප‍්‍රනාන්දු මහතා පසුව පවසා තිබුණේ තම සම්මේලනයේ අනුමැතියකින් තොරව එම තරගාවලියට සහභාගි වුවද ලූෂන්ගේ ජයග‍්‍රහණය පිළිබඳව සතුටු වන බවයි. 

ලූෂන් ඉදිරි දින කීපයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. ලූෂන් ක‍්‍රීඩකයකු ලෙස විනයානුකූලව කටයුතු කිරීම ද මෙහිදී වඩාත් වැදගත්වනු ඇත. 

ලූෂන් පැමිණීමෙන් පසුව නැවතත් පෙර පරිදිම වචන හැසිරුවොත් නිලධාරීන්ට පමණක් නොව ලූෂන්ට ද (ඇඟේ හැටියට මොළේ නෑ) යන කියමන ආදේශ වීම වැළැක්විය නොහැක. 

විදේශවල රැකියාව කරමින් එම රටවල්වල පහසුකම් ලබා ගනිමින් පුහුණුවීම් කර ශ්‍රී ලංකාවට ගෞරවය ගෙන දෙන මෙවැනි ක‍්‍රීඩකයන් රැකගැනීම ජාතික සංගමයක වගකීම යැයි අපට හැගේ.  

♦ යොහාන් භාසුර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00