2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

දකුණු අප්‍රිකාව සමඟ පළමු ටෙස්ට් තරගය හෙට ඇරැඹෙයි

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 07:47 106

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරග මාලාවේ හෙට (26) පෝට් එළිසබෙත් ක්‍රීඩාංගණයේදී ඇරැඹේ. ස්වභාවයෙන්ම වේගපන්දු යවන්නන්ට පාරාදීසයක් වන ද. අප්‍රිකාවේ ටෙස්ට් ක්‍රීඩාංගණ අතුරින් පෝට් එළිසබෙත් සැලකෙන්නේ වඩාත්ම මන්දගාමී, ඉපිලීම අඩුම ක්‍රීඩාංගණය වශයෙනි. මේ නිසා ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් අත ලොකු වගකීමක් පැවැරී තිබේ.

දෙරට අතර ටෙස්ට් තරගමාලාවක් ද.අප්‍රිකාවේ පැවැත්වෙන්නේ වසර පහකට පසුවය. මින් පෙර පැවැති තරග 10න් 8කම ජය ද.අප්‍රිකාව සතු විය. ශ්‍රී ලංකාව එකම තරගයක් දිනා ගැනීමට සමත් වූ අතර ඉතිරි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. එහෙත් එක්දින තරගවලදී ශ්‍රී ලංකාව හොඳින් දස්කම් දැක්වීමට සමත් වී තිබේ. මෙවර තරගාවලිය ටෙස්ට් තරග 3කින් එක්සික තරග 5කින් සහ විස්සයි20 තරග 3කින් සමන් විතය.

මේ අතර ලංකා කණ්ඩායම පළමු පුහුණු තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට සමත් වූයේ පිතිකරුවන්ට වැඩි වාසි අත්පත් කර දෙමිනි. එම තරගයේදී දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා සහ උපුල් තරංග පිත්තෙන් දස්කම් දක්වන්නට සමත්වූහ.

ඒ අනුව පළමු ටෙස්ට් තරගයට පෙර සංචාරයට එක්ව සිටින පිතිකරුවන් අට දෙනාගෙන් හත් දෙනෙක්ම අර්ධ ශතක රැස්කිරීම තරගාවලියට සුබ ලකුණකි. අර්ධ ශතකයක් රැස් කිරීමට නොහැකි වූ එකම කී‍්‍රඩකයා ඇන්ජලෝ මැතිව්ස් වීම විශේෂත්වයකි.

පළමු ඉනිමේදී දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් යන කී‍්‍රඩකයෝ ශතක රැස් කිරීමට සමත්වූහ. කෙසේ වෙතත් පුහුණු තරගය අවසන් වන අවස්ථාවේ මැතිව්ස් පන්දු 52කට මුහුණ දී ලකුණු 37 ක් රැස් කර කඩුල්ලේ රුඳී සිටියේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 373ක් රැස් කිරීමට සමත් විය. සිය පළමු ඉනිම කී‍්‍රඩා කළ දකුණු අපි‍්‍රකා ආරාධිත පිලට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 289ක් පමණි. පන්දු යැවීමේදී නුවන් ප‍්‍රදීප් හා සුරංග ලක්මාල් කඩුලු තුන බැගින් ද ඇන්ජලෝ මැතිව්ස් හා දිල්රුවන් පෙරේරා කඩුලු බැගින්ද දවා ගැනීමට සමත් වූහ. දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් වනවිට කඩුලු පහක් දැවී ලකුණු 212ක් රැස් කරගෙන සිටියේය.