2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

තේරීම් කමිටුවක් නැතුවම පාකිස්තාන් සංචාරයට සංචිතයක් තෝරාගෙන

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 288

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ලබන සතිය අවසන් වන විට පාකිස්තානු පිලට එරෙහිව තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහා එක්සත් අරාබි එමිර් රාජ්‍යය බලා පිටත්ව යෑමට නියමිතය.  මෙහිදී ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට දිවා/රාත‍්‍රී ටෙස්ට් තරගයකට සහභාගි වීමට නියමිතය. එම තරගය ඔක්තෝබර් මස මුල ඩුබායි ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට සුදානම් කර තිබේ.

දෙරට අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අබුඩාබිහිදී මේ මස 28 වැනිදා ආරම්භ වීමට නියමිතය. 

මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක්දින සහ විස්සයි20 පිලේ නායක උපුල් තරංග ඇතුළත් කර නැති අතර ඔහු මාස හයකට ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටින බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් මෙන්ම බොහෝ දෙනෙකු ක‍්‍රීඩකයන්ට අත්දැකීම් නැති බව පවසද්දී ශ්‍රී ලංකා පිලේ වැඩිම අත්දැකීම් ඇති ක‍්‍රීඩකයා විවේක ගන්වා තිබේ. 

උපුල් තරංග මෙම වසරේ මේ දක්වා ටෙස්ට් තරග 8 කදී ලකුණු 430 ක් රුස්කරමින් ශ්‍රී ලංකාවේ සිවුවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටී. උපුල්ගේ ඉනිමක සාමාන්‍ය 39.09 කි.

දිමුත් කරුණාරත්න (634), කුසල් මෙන්ඩිස් (611) සහ නිරෝෂන් දික්වැල්ල (443) උපුල්ට ඉහළින් සිටිති. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසුවේ එක්දින සහ විස්සයි20 තරගවලට දැඩි අවධානය යොමු කිරීම සඳහා ඔහුව ටෙස්ට් පිලෙන් විවේක ගැන්වූ බවයි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් මතයට අනුව උපුල් විවේක ගැන්වීම අටුව කඩා පුටුව සැදීම වැනි ක‍්‍රියාවකි.

පාකිස්තානු සංචාරයට කණ්ඩායම තේරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ ජාතික තේරීම් කමිටුවක් නොමැත. මෙම සංචිතය තේරුවේ කවුද? අවසන් 15 දෙනාගේ සංචිතය තෝරන්නේ කවුද යන ප‍්‍රශ්නය මේ වන විට මතුවී තිබේ.

දැනගන්න ඇත්තේ පන්දු රැකීමේ පුහුණුකරුව සිට තාවකාලික ප‍්‍රධාන පුහුණුකරු තනතුරට පත්වූ නික් පොතාස් මහතා මේ වන විට තේරීම් කමිටුවේ රාජකාරිය ද බාරගෙන ඇති බවයි.  පාකිස්තානු සංචාරය සඳහා නම් කර ඇති 25 දෙනකුගෙන් යුත් මූලික සංචිතය නික් පොතාස් නම් කළ එකක් බව ඇතැම්හු පවසති.  

එම සංචිතයට ආබාධයන්ට ලක්ව වසරකට වැඩි කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටි වේග පන්දු යවන ධම්මික ප‍්‍රසාද් සහ දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ ඇතුළත්ව සිටිති.

ධම්මික ප‍්‍රසාද් නැවතත් පන්දු යැවීම ආරම්භ කර පුහුණුවීම්වල නිරතව සිටින අතර ඔහුට පාකිස්තානු සංචාරයට සහභාගි වීමේ හැකියාවක් තිබේ ද යන්න තවමත් සැක සහිතය. ආබාධයන්ට ලක්ව සිටි ක‍්‍රීඩකයන් රුසක් එම සංචිතයට ඇතුළත්ව සිටිය ද අසේල ගුණරත්න සහ කුසල් ජනිත් තවමත් ලෙඩ ඇඳන් වලම පසුවෙති. 

ශ්‍රී ලංකාවට වැටී සිටින අගාධයෙන් ගොඩ ඒමට නම් බොහෝ වෙනස්කම් සිදුවිය යුතුව තිබේ. එවැනි දේ වනවා ද යන්න බලා සිටීම පමණක් අපට කළ හැකිය.  

ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය:

දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, සදීර සමරවික‍්‍රම, රංගන හේරත්, සුරංග ලක්මාල්, නුවන් ප‍්‍රදීප්, ලක්‍ෂාන් සඳකැන්, විශ්ව ප‍්‍රනාන්දු, ළහිරු කුමාර, ජෙෆ්රි වැන්ඩසේ, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, ඩිල්රුවන් පෙරේරා, මාලින්ද පුෂ්පකුමාර, රොෂේන් සිල්වා, අකිල ධනංජය, චරිත් අසලංක, ශාමින්ද එරංග සහ ධම්මික ප‍්‍රසාද්

I යොහාන් භාසුර  

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00