2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

රෙඩ්බුල් විශ්ව විද්‍යාල ක‍්‍රිකට් ශූරතාව දකුණු අප‍්‍රිකාවට

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

විසිහැවිරිදි පා දඟ පන්දුයවන ක‍්‍රීඩක ඩයිලින් මැතිව්ස්ගේ විශිෂ්ට දස්කම් හමුවේ ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසල පරදවා රෙඩ්බුල් විශ්ව විද්‍යාල ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දකුණු අප‍්‍රිකාවේ වයඹ විශ්ව විද්‍යාලය සමත් විය. 

මෙරටට පැමිණෙන දකුණු අප‍්‍රිකානු පිතිකරුවන් ශී‍්‍ර ලංකා දඟ පන්දුයවන්නන් ඉදිරියේ අසරණ වීම සාමාන්‍ය සිදුවීමක් වුවත්, මෙම තරගයේදී සිදුවූයේ එහි කණපිටය. අවසන් තරගයේදී මැතිව්ස් කෙතරම් හොඳින් පන්දු යැව්වාද කිවහොත් ඔහුගේ පන්දු හමුවේ ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට සිය කඩුලූ ආරක්ෂා කරගැනීම සඳහා උපාය මාර්ග සෙවීමට පවා සිදුවිය. 
අවසන් තරගයේදී ලකුණු 22 කට දවාගත් කඩුලු 3 ත් සමගින් කඩුලු 12 ක් දවාගත් මැතිව්ස්ට පසුවෙන්ම මෙවර තරගාවලියේ සාර්ථකම පන්දුයවන්නා බවට පත්වීමට හැකිවිය. මැතිව්ස්ගේ සහ ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගත් මඳ වේග පන්දුයවන ක‍්‍රීඩක ජූලියන් සවුටර්ගේ පන්දුයැවීම හමුවේ ව්‍යාපාර කලමනාකරණ පාසලට  ඕවර 19 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 121 ක් පමණි. ලකුණු 122 ක ජයග‍්‍රාහී ඉක්කයක් හඹාගිය වයඹ විශ්ව විද්‍යාලය කඩුලු 3 ක් පමණක් දැවී පන්දු 28 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගිය අතර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන ජේන්මන් මැලන් එහිදී පන්දු 47 කදී ලකුණු 64 ක් රැස්කළේය.  

යාන්ත‍්‍රික ඉන්ජිනේරුවකු වීමේ බලාපොරොත්තුවෙන් භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව පිළිබඳව හදාරන ශිෂ්‍යයෙක් වන මැතිව්ස්, මෙම තරගයේදී සිය  ඕවර 4 පුරාම නිවැරදි එල්ල ඔස්සේ ඉතා ආක‍්‍රමණශීලී අයුරින් පන්දු යැවීය. ශ‍්‍රී ලංකා පිතිකරුවන් බොහොමයක් මැතිව්ස්ගේ පන්දු හමුවේ ආක‍්‍රමණශීලී පහර කරා යෑමට උත්සාහගත්තද, ඒවා අසාර්ථක විය. ඔහුගේ පන්දු හමුවේ දැවී ගිය පිතිකරුවන් තිදෙනාද එලෙස නිවැරදි අයුරින් පහර කරා යෑමට නොහැකි වීම නිසා පන්දු රකින්නන් වෙත උඩපන්දු ලබා දෙමින් දැවී ගිය පිතිකරුවෝ වූහ.

ශ‍්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ වඩාත් භායානක පිතිකරුවන් වෙමින්, ඉතා දක්ෂ ලෙස පන්දුවට පහරදුන් ලකුණු 24ක් ලබා සිටි මනෝජ් සරත්චන්ද්‍ර මෙන්ම ප‍්‍රවේගකාරී පිතිකරු රනිත ලියනාරච්චිද පිටියෙන් ඉවත් කිරීමට මැතිව්ස් සමත් විය. ශ‍්‍රී ලංකා ඉනිමේ මැද පෙළ සුනුවිසුණු කර දැමීමට ජූලියන් සවුටර් සමත් වූයේ සිය මඳ වේග පන්දුව උපයෝගී කරගනිමිනි. ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගනිමින් සවුටර් දැක්වූ දක්ෂතාවය හේතුවෙන් ඔහු අවසන් තරගයේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේය. එහෙත් තරගාවලිය පුරාම සිය දඟ පන්දුවෙන් මැතිව්ස් දැක්වූ දස්කම් තරගාවලියේ ශූරතාව දිනාගැනීම සඳහා දකුණු අප‍්‍රිකාවට මහත් පිටුවහලක් විය.

මේ වසර අග භාගයේදී පැවැත්වෙන දකුණු අප‍්‍රිකානු විස්සයි20 ලීග් තරගාවලියට සහභාගී වීමට නියමිතව සිටින ජේන්මන් මැලන්ගේ ඉතා සන්සුන් ආරම්භය නිසා දකුණු අප‍්‍රිකාවේ හඹායෑඹ තරමක් විධිමත් එකක් විය. හඹාගිය ලකුණු සංඛ්‍යාව එතරම් විශාල ලකුණු සංඛ්‍යාවක් නොවූ නිසා ඔහු ඉතා උපක‍්‍රමශීලී අයුරින් කෙටි ලකුණු ලබාගනිමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියේය. එසේ වුවත් ඔහුගේ ඉනිම හයේ පහර දෙකකින් සහ හතරේ පහර 7 කින් සමන්විත වූ අතර ඉන් එක් හයේ පහරක් පිටියේ එක් කෙළවරකට ඉහළින් ඇදී ගිය දැවැන්ත හයේ පහරක් විය. 

ශ‍්‍රී ලංකා කඩුලු රකින ක‍්‍රීඩක මනෝජ් සරත්චන්ද්‍ර අතින් ස්ටම්ප් කිරීමේ අවස්ථාවක් ගිලිහී යෑමත් සමග ලැබුණ අතිරේක ලකුණ දකුණු අප‍්‍රිකාවේ ජයග‍්‍රාහී ලකුණද විය. තරගය පරාජය වීමත් සමගින් පැමිණ සිටි ශ‍්‍රී ලංකා පේ‍්‍රක්‍ෂකයන් තරමක් නිහඬ වූ අතර දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයෝ පිටිය පුරා දිව යමින් සිය ජයග‍්‍රහණය සැමරූහ. තරගයෙන් අනතුරුව දෙපිලේම ක‍්‍රීඩකයන් එකිනෙකා සමග කතාබහ කරමින් සහ එකිනෙකාට සුබපතමින් ආදර්ශවත් ක‍්‍රීඩාශීලීත්වයක් පෙන්නුම් කළහ. 

මෙතෙක් පැවැති රෙඩ්බුල් විශ්ව විද්‍යාල ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලි 4 න් 3 කදීම ශූරතා දිනාගැනීමට දකුණු අප‍්‍රිකාව සමත්ව සිටින අතර මෙවර දකුණු අප‍්‍රිකාවේ ජයග‍්‍රහණය ප‍්‍රතිස්ථාපිත කිරීමට සමත් වූයේ වයඹ විශ්ව විද්‍යාලයයි. මින් 2014 සහ 2015 යන වසරවලදී පැවැති තරගාවලි වලදී ප‍්‍රීටෝරියා විශ්ව විද්‍යාලය, දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් එම ශූරතාවලට හිමිකම් කියා තිබිණ. ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර කලමනාකරණ පාසල පසුගිය (2016) වසරේ පැවැති තරගාවලියේදී ශූරතාව දිනාගැනීමට සමත් වුවද, මේ වසරේදී එම ශූරතාව රැකගැනීමට අසමත් විය.