2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

ක්‍රිකට් ආයතනයේ “කැකිල්ලේ” රඟපෑම

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 144

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය සෙනසුරාදා ‘කැකිල්ලේ තීන්දුවක්’ ප‍්‍රකාශයට පත් කළේය. එම තීන්දුවෙන් නමගිය හිටපු ටෙස්ට් ක‍්‍රීඩකයකු වන චාමර සිල්වා වසර දෙකකද, ටෙස්ට් ක‍්‍රීඩකයන් වන චරිත බුද්ධික සහ හසන්ත ප‍්‍රනාන්දු වසරකද, ක‍්‍රිකට් තහනමකට ලක්වූහ. ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ 18 හැවිරිදි තුන් ඉරියව් ක‍්‍රීඩක අයන සිරිවර්ධනද මෙහිදී වසරක තහනමකට ලක්විය.

මෙම තීන්දුවේ කැපී පෙනෙන සිද්ධිය බවට පත්ව ඇත්තේ තරගය අසම්මත ලෙස ක‍්‍රීඩා කිරීමට විරුද්ධ වූයේ යැයි කියන චාමර සිල්වාට වසර දෙකක තහනමක් පැනවීමය. 

අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ පානදුර ක‍්‍රීඩා සමාජය සහ කළුතර පී.සී.සී පිල අතර මේ වසරේ ජනවාරි මාසයේ පැවැති තරගයේදී ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ජීවගුණයට හානිවන අයුරින් කටයුතු කළේ යැයි කියන චෝදනාවට එම කණ්ඩායම් දෙකේ ක‍්‍රීඩකයන් 22 සමඟ පුද්ගලයන් 27 දෙනකුට තහනම් පැනවනු ලැබීය. මෙම සිද්ධියට සම්බන්ධ යැයි කිවහැකි ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව නියෝජනය කරන නිලධාරීන්ට මෙහිදී කිසිදු දඬුවමක් පනවා නොමැති අතර ක‍්‍රීඩා සමාජ දෙකට ලක්‍ෂ 5 බැගින් වන දඩයක් ගෙවා ලිස්සා යෑමට අවස්ථාව සලසා තිබුණි.

මෙම වසරේ ජනවාරි 23, 24 සහ 25 දිනවල මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයෙන් පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 3 ක ජයක් ලැබීය. කෙසේ වෙතත් මෙම තරගය අවසන් වෙත්ම එහි තරග තීරකවරයා සහ විනිසුරුවන් දෙපළ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට තරගය සැක සහිත බවට පැමිණිළි කර තිබුණි. එම තරගයේදී දෙපිල පළමු දිනයේදී ලකුණු 362 ක්, දෙවැනි දිනයේදී ලකුණු 208 ක් සහ තෙවැනි දිනයේදී ලකුණු 607 ක් රුස්කර තිබුණි. තවද අවසන් දිනයේ ඕවරයකට ලකුණු 10කට වැඩි වේගයක් පවත්වමින් ලකුණු 607 ක් රැස්කරද්දී කඩුලු 25 ක් බිඳ වැටුණි. පානදුර ක්‍රීඩා සමාජය අවසන් දිනයේදී  ඕවර 23 කින් ලකුණු 243 ක් ද, කළුතර පී.සී.සී. පිල  ඕවර 22.5 කදී ලකුණු 197 ක් රැස්කර තිබුණි. පානදුර ක්‍රීඩා සමාජය ලකුණු 167 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 13.4 කින් සම්පූර්ණ කර තිබුණි.  
අන්තර් සමාජ පළමු පෙළ තරගය මෙවැනි දෙයක් කිරීමට නම් එම ක‍්‍රීඩා සමාජවල ඉහළ කළමනාකාරිත්වය දැනුවත්ව සිටිය යුතු වීම අනිවාර්ය සාධකයක් බව අමුතුවෙන් කිවයුතු නැත. මෙම ක‍්‍රීඩා සමාජ දෙකේම ඉහළ නිලධාරීහු ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව නියෝජනය කරති. මෙහි තවත් කැපී පෙනෙන සිද්ධියක් බවට පත්ව ඇත්තේ චාමර සිල්වා එම තරගයේ පානදුර ක‍්‍රීඩා සමාජ ඉනිම දෙකේදීම පන්දුවට පහර දී නොමැති අතර ඔහු අවසන් දිනයේදී නායකයාගේ වාර්තාවට අත්සන් තබාද නොතිබීමය. 

මෙම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ ත‍්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ සභාපති අසේල රැකව මහතා පසුගිය සඳුදා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයට අදාළ ක‍්‍රීඩා සමාජ දෙකේම ක‍්‍රීඩකයන් සහභාගි නොවූ බවයි. 

“චාමර සිල්වා මහත්මයා වෙනුවෙන් නීතිඥ මහත්මයෙක් පෙනී සිටියා. තුන්වැනි දවසේ චාමර සිල්වා අත්සන් කරලා නෑ කියලා ලේඛනයක තිබුණා. අපි මෙහිදී සැළකුවේ තුන්වැනි දවසේ සිද්ධියක් ගැන පමණක් නොවෙයි. දින තුනක තරගයක ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් තමයි අපි මේ තීරණය ගත්තේ.”

“චාමර සිල්වා මහත්තයා මෙම තරගයේ එක දිනකදී නායකයාගේ වාර්තාවට අත්සන් කරලා නෑ. එවිට අපිට දැනගන්නට ලැබුණා ඔහුට බඩේ අමාරුවක් කියලා. නමුත් ඒකත් අපි පසුවයි දැනගත්තේ. එහෙම නැතුව අපිට නීතිඥ මහත්මයෙක් මගින්වත් ඔහු කණ්ඩායමේ සිටින සෙසු සාමාජිකයන්ගෙන් වෙනස් මතයක් දරනවා හෝ වෙනස් තීරණයක් ඔහු ගන්නවා කියලා දැනගෙන හිටියේ නෑ” එහිදී රැකව මහතා එහිදී පැවසීය. 

කෙසේ වෙතත් විධායක කමිටුවේ ප‍්‍රබල නිලධාරියකුගේ දැඩි මැදිහත්වීම මත විධායක කමිටුවට මෙම තීරණයට ඒමට සිදුවූ බව වාර්තා වේ. පානදුර ක‍්‍රීඩා සමාජයද පසුගිය බදාදා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ක‍්‍රීඩකයන්ට හෝ නිලධාරීන්ට කරුණු ඉදිරිපත් කිරීමට විමර්ශන කමිටුව අවස්ථාවක් නොදුන් බවයි. 

එහිදී පානදුර ක‍්‍රීඩා සමාජයේ සභාපති ජයන්ත සිල්වා මහතා පැවසුවේ මෙම සිද්ධියට තරග තීරකවරයා සහ විනිසුරුවන් දෙපළ වගකිවයුතු බවයි. 

“මුල්ම අවස්ථාවේදී අපි සියලුම ක‍්‍රීඩකයන් සමඟ ගියා. එහිදී නීතිඥයන් කිව්වා පානදුර ක‍්‍රීඩා සමාජය වෙනුවෙන් ඔවුන් පෙනී සිටිනවා කියලා. එතැන් සිට නව වතාවක් පරීක්‍ෂණය පැවැත්වුණා. නවවැනි වතාවේ අපිට දැනුම් දුන්නේ නෑ. අපිට දැන්නුවා කිව්වට අපිට දැන්නුවේ නෑ. ඒ නිසා අපි සහභාගි වුණේ නෑ.”

“ක‍්‍රීඩකයන් ඉදිරිපත් කරන්න කිව්වා නම් අපි ඉදිරිපත් කරනවා. අපේ පැත්තෙන් හෝ කළුතර පිලෙන් හෝ හරස් ප‍්‍රශ්න ඇහුවේ නෑ. අපේ නීතිඥයෝ පමණයි හරස් ප‍්‍රශ්න ඇසුවේ” යැයි එහිදී ජයන්ත මහතා එහිදී පැවසීය. 

පානදුර සහ කළුතර යන ක‍්‍රීඩා සමාජ දෙකේ විධායක කමිටුව නියෝජනය කරන නිලධාරීන් සමඟ පවතින විරසකයක් ද ක‍්‍රීඩකයන් කරපිටින් ගොස් ඇති බවද ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයෙන් වාර්තා වේ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයකුගෙන් කළ විමසුමකදී පැවසුවේ චාමර සිල්වාට අභියාචනයක් යොමුකර නිදහස් වීමේ අවස්ථාව ඇති බවයි. 

“අභියාචනයක් දැම්මයි කියලා නිකම්ම නිදහස් වෙන්න බෑ. ඔහුට කියන්න වෙයි කවුද මේවා කරන්න කිව්වේ කියලා. එවිට මේ සිද්ධියේ තිරය පිටුපස ඉන්න අය හෙළි වෙයි.” යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

මේ අතර පසුව දැනගන්නට ලැබුණේ මේ සම්බන්ධයෙන් චාමර සිල්වා අභියාචනයක් කිරීමට කටයුතු කරන බවය. එසේම මාධ්‍ය සාකච්ඡාවක් තබමින් පානදුර ක්‍රීඩා සමාජය ප්‍රකාශ කළේ තමන්ට එල්ල කරන චෝදනා සාවද්‍ය බවයි.

♦වරකාගොඩ ගමගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00