2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

අළු යට ගිනි අවුස්සන ICC පරීක්ෂණය

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ පරීක්‍ෂණය, ක‍්‍රීඩකයන් ඉදිරිපත් කළ ලිපිය මෙන්ම ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහගේ ප‍්‍රතිචාරය යන සිද්ධීන් හේතුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය මේ වනවිට ගිනියම් වී තිබේ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව (අයි.සී.සී.) පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ පැවැති අන්තර්ජාතික ක‍්‍රිකට් තරගවල ඇතැම් සිද්ධීන් පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි. එහිදී ඔවුන් වැඩිදුරටත් පවසා තිබුණේ ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළි කළ නොහැකි බවත්ය. 

එම නිවේදනය නිකුත් වනවිටත් අයි.සී.සී. දූෂණ මර්දන අංශ නිලධාරීන් දෙදෙනකු ශ්‍රී ලංකාවට පැමිණ සිටි බව ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ. දූෂණ මර්දන නිලධාරීන් පසුගිය සතියේ හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ක‍්‍රීඩාංගන බාර නිලධාරී ගොඩ්ෆ‍්‍රී දාබරේරා යන මහත්වරුන් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

එහිදී එම නිලධාරීන් පසුගිය ඉන්දීය සංචාරයේ තණතීරු පිළිබඳව ප‍්‍රශ්න කර තිබේ. ලසිත් මාලිංග බත්තරමුල්ලේදී පැවැති විශේෂ ක‍්‍රිකට් සමුළුවේදී තණතීරැ පිළිබඳව කළ ප‍්‍රකාශ මත පදනම්ව එම ප‍්‍රශ්න කිරීම් කළ බව දැනගන්නට තිබේ. මෙහිදී ලසිත් මාලිංග ඇතුළු හිටපු ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් රැසකගෙන් සහ ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් කීපදෙනකුගෙන් ද ඉදිරියේදී ප‍්‍රශ්න කිරීමට නියමිත බව දැනගන්නට තිබේ. ටෙස්ට් පිලේ නායක දිනේෂ් චන්දිමාල් ප‍්‍රමුඛ ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ක‍්‍රීඩකයන් 41 දෙනකුගේ නම් එම ලිපියේ සඳහන්ව තිබූ අතර නම ඇතුළත්ව තිබූ නුවන් කුලසේකර පමණක් අත්සන් කර නොතිබුණි. 

ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන ක‍්‍රීඩක සහ හිටපු තේරීම් කමිටු සාමාජික ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවකදී කළේ යැයි කියන ප‍්‍රකාශයකට එරෙහිව පරීක්‍ෂණයක් කරන ලෙස එම ලිපියෙන් ක‍්‍රීඩකයන් ඉල්ලා තිබූ බව ක්‍රිකට් ආයතනය කියා තිබිණි.

නමුත් මට පේනවා මේක අස්වාභාවික නරක කාලයක්. ඒ කියන්නේ පරාජය වන විදි තියෙනවා. නමුත් අස්වාභාවික ලෙස පරාජය වෙනවා යැයි ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ මහතා කළේ යැයි කියන ප‍්‍රකාශයක් ඇතුළු වෙන් වෙන් වශයෙන් ප‍්‍රකාශ නවයක් එම ලිපියේ සඳහන් තිබව කියති. දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, පුහුණුකරු නික් පොතාස් සහ ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පාර්ලිමේන්තුවට ගොස් ක‍්‍රිකට් සභාපතිවරයාට මෙම ලිපිය බාරදී තිබේ. 
කෙසේ වුවද මෙම ලිපිය ද ඇතැම් විට පසුගිය කාලයේ උපුල් තරංග ලිපියක් ඔස්සේ ‍ප්‍රේක්ෂකයන්ගේ සහයෝගය ඉල්ලා සිටි ආකාරයට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සකස් කර අත්සන් ලබාගත් එකක්ද විය හැකි බවට ක්‍රිකට් ප්‍රවීණයෝ සැක පහළ කරති. මාධ්‍යයට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන්ද ඇතුළුව ක්‍රීඩකයන් ලිපියක් ලියා ඇත්තේ ප්‍රථම වතාවට බවද ඔවුහු කියති. ෙකසේ උවද ක්‍රිකට් ආයතනය සමඟ පවතින ගිවිසුම හේතුවෙන් කිසිදු ක්‍රීඩකයකුට ඒ ගැන කිසිවක් ප්‍රකාශ කිරීමට අවසරයක් නැත.

එම ලිපිය පිළිබඳව මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ ඒ පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වීමට තමන්ද කැමති බවත් එයට ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසත්ය. මෙම ලිපිය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) යොමු කිරීමේ සූදානමක් ද පැවතුණු බව වාර්තා විය. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඇතැමුන් පවසන ආකාරයට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ පරීක්‍ෂණය ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහගේ ප‍්‍රකාශය පිළිබඳව කරන පරීක්‍ෂණයක් නොවන බව පැහැදිලිය. ඉන්දීය සංචාරයේ පමණක් නොව ශ්‍රී ලංකාවේදී සිම්බාබ්වේ පිලට එරෙහිව පසුගිය ජූනි මස පැවැති තරගාවලියේ ඇතැම් සිද්ධීන් පිළිබඳව අයි.සී.සී.යට පැමිණිලි ලැබී ඇති බවත් ඒ පිළිබඳව රහස්‍ය පරීක්‍ෂණයක් ක‍්‍රියාත්මක වන බවත් ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ ආරංචි පැතිර යයි. 

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රකාශය සිදුකරන විටද අයි.සී.සී. දූෂණ විරෝධී කමිටුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අරඹා තිබූ බවත් ඔවුන්ගේ පරීක්ෂණවලට පදනම් වී ඇත්තේ තරග පාවාදීම් සම්බන්ධ චෝදනා බවත් දැනගන්නට තිබේ.

I යොහාන් භාසුර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00