ජාතික ඔලිම්පික් කමිටුව තම පිය උරුමයෙන් ලැබුණු බූදලයක් ලෙස සලකමින් වසර අටක කාලයක් ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටින මැක්ස්වෙල් ද සිල්වා මහතාට එරෙහිව ජාතික ක‍්‍රීඩා සංගම් 11ක අත්සනින් යුත් ලිපියක් පසුගිය සතියේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කර තිබුණි. එම ක‍්‍රීඩා සංගම් 11 එහිදී පැමිණිලි කර ඇත්තේ වසර හතරකට පමණ පසුව නොවැම්බර් මස 9 වැනිදාට කැඳවා ඇති ජාතික ඔලිම්පික් කමිටුවේ විශේෂ මහ සභාවේ න්‍යාය පත‍්‍රය ලේකම්වරයාගේ තනි මතයට සකස්කර ඇති බවයි.
එම න්‍යාය පත‍්‍රයේ ලේකම්වරයාට අවශ්‍ය කරුණු කීපයක් පමණක් සාකච්ඡා කිරීමට යොදාගෙන ඇති බවත් ලේකම්වරයාගේ අත්තනෝමතික පාලනය පිළිබඳව කරුණු වීමසීමේ අවස්ථාව ලබාදිය යුතු බවත් ක‍්‍රීඩා සංගම් පවසයි. ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් වාර්තාවල විනිවිදභාවය පිළිබඳව ගැටලු ඇතැයි ක‍්‍රීඩා සංගම් නියෝජිතයෙක් ‘දේශය’ට පැවසීය.
මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ පසුගිය වසර කීපයක විදේශ සංචාර සඳහා වැය වූ මුදල් සහ තවත් වියදම් රැසක් පිළිබඳව ප‍්‍රශ්න කිරීමට ක‍්‍රීඩා සංගම් නියෝජිතයෝ සූදානමින් සිටිති. ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික ක‍්‍රීඩා සංගම් සංඛ්‍යාව 26 ක් වන අතර එහි සංගම් හයක සාමාජිකත්වය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් පවතී.
නැවත ලේකම් ධූරයට තරග කිරීමට සූදානමින් සිටින මැක්ස්වෙල් ද සිල්වා මහතාට මෙම ලිපිය මේ වනවිට කණේ පහරක් බවට පත්ව තිබේ. ඉතිරි ක‍්‍රීඩා සංගම්වලින් හතරක් ද ස්වාධීනව සිටින බව දැනගන්නට තිබේ. නව ක‍්‍රීඩා සංගම් හයකට ද ඡන්ද අයිතිය ලබාදීමේ සූදානමක් ද පවතින බව දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ අවසන් නිලවරණය 2009 වසරේ පවත්වා ඇති අතර ඒ හේතුවෙන් එහි නිලවරණය මෙම වසර අවසන්වීමට පෙර පවත්වන ලෙස අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව දැනුම්දී ඇතැයි ද වාර්තා වේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව කළ විමසුමේදී එහි සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසුවේ වැඩ කරන කෙනාට චෝදනා එල්ල කිරීම අසාධාරණ බවයි.
“මැක්ස්වෙල් තමයි වැඩ කළේ. දැන් ඔය කෑ ගහන කාටවත් වැඩ කරන්න වෙලාවක් තිබුණේ නෑ. ඔලිම්පික් කමිටුවෙන් හැමදේම කරගත්තු පිරිසක් බොරුවට කෑ ගහනවා”
“අපි නත්තලට පෙර නිලවරණය තියෙනවා. මැක්ස්වෙල්ට චෝදනා තිනෙවා නම් පරදවන්න පුළුවන් වෙන්න එපැයි. නමුත් මම නැවත ඔලිම්පික් කමිටුවට එන්නෙ නෑ. මේක අතහරිනකන් මට ඉවසිල්ලක් නෑ” යැයි හේමසිරි මහතා වැඩිදුරටත් පැවසීය.
ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ සත්‍ය වශයෙන්ම තමන්ට චෝදනාවක් හෝ නොමැති බවයි.
“ඔලිම්පික් කමිටුව කියන්නේ මගේ පෞද්ගලික ආයතනයක් නොවෙයි. ඔලිම්පික් කමිටුවේ සභාපතිතුමාව දැනුවත් කර තමයි මම සියලුම දේවල් කළේ. මම නිවැරදිව වැඩ කරලා තියෙනවා.”
“ඇත්ත වශයෙන්ම ජාතික ක‍්‍රීඩා සංගම් 11 ක් මට විරුද්ධව අත්සන් කරලා නෑ. ඉදිරියේදී එවා හෙළිවෙයි. ගිණුම් වාර්තා අහන්න ඕනේ මගෙන් නොවෙයි. මූල්‍ය කමිටු සභාපතිවරයාගෙන්” යැයි සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
ජාතික ඔලිම්පික් කමිටුවේ ඉදිරි නිලවරණයේදී ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ හිටපු සභාපතිවරයකු වන ඩයන් ගෝමස් මහතා ලේකම් ධූරයට තරග කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවට වාර්තා වේ.
I සටහන: යොහාන් භාසුර