දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් කණ්ඩායම පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 2x0 කින් පසුගිය අඟහරුවාදා ජය ලැබීම මාස කීපයක දැඩි නියඟයකින් පසුව ලැබුණු මහා වර්ෂාවක් බඳු විය. මෙම ජයග‍්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම නව පණක් ලැබූ බව අමුතුවෙන් කිවයුතු නැත. පාකිස්තානය 2010 වසරේ සිට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී ටෙස්ට් තරග 27 කට සහභාගි වී ලැබූ පළමු ටෙස්ට් තරගාවලි පරාජය මෙයවීම නිසා ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට වඩාත් කැපී පෙනේ.
ශ‍්‍රී ලංකාව මෙම ජයග‍්‍රහණයත් සමඟ ප‍්‍රසාද ලකුණු 3 ක් එකතු වී ප‍්‍රසාද ලකුණු 94 ක් සමගින් ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය. පාකිස්තානය ප‍්‍රසාද ලකුණු 5 ක් අහිමිවීමෙන් 7 වැනි ස්ථානයට වැටුණි. මෙම තරගාවලිය ආරම්භ වනවිට ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 91 ක් සමගින් 7 වැනි ස්ථානයේ ද, පාකිස්තානය ප‍්‍රසාද ලකුණු 93 ක් සමගින් 6 වැනි ස්ථානයේ ද, පසුවිය.
ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ පළමු දිවා රාත‍්‍රී ටෙස්ට් තරගය වූ ඩුබායි තරගයේ දෙවැනි ඉනිමේදී පාකිස්තානු නායක සෆ්රාස් අහ්මඩ් සහ අසාද් ෂාෆික් ලකුණු 52 කට කඩුලු පහක් බිඳවැටී තිබියදී හයවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 173 ක සම්බන්ධතාවයෙන් තරගය ශ්‍රී ලංකාව වෙතින් ගිලිහී යෑමේ අවදානමකට පත්විය.
නායක දිනේෂ් චන්දිමාල් ජයග‍්‍රහණයෙන් පසුව පැවසුවේ සිවුවැනි දිනයේ රාත‍්‍රී බලාපොරොත්තු නොවූ පරිදි ක‍්‍රීඩාංගණයට පින්න පතිත වූ බවත් ඒ හේතුවෙන් දඟ පන්දු යවන්නන්ට පන්දුව ග‍්‍රහණය කිරීම අපහසු වූ බවත්ය. “අපේ සැළැස්ම වුණේ ඊළඟ දවසට ලකුණු 120 ක් විතර තියාගෙන එදින කඩුලු ලබා ගැනීමයි. එය සාර්ථක වුණා” යැයි චන්දිමාල් වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් දඟ පන්දු යවන්නන් වන ඩිල්රුවන් පෙරේරා සහ රංගන හේරත්, පාකිස්තානු පිතිකරුවන් පාලන කිරීම තරගාවලි ජයග‍්‍රහණයේ පොදු සාධකය බවට පත්විය. ටෙස්ට් තරගයකදී පන්දු යවන්නකුගේ අත්දැකීම් වඩාත් වැදගත් බව මනාව ප‍්‍රදර්ශනය විය.
රංගන මෙම තරග දෙකේදී කඩුලු 16 ක් ද, ඩිල්රුවන් තරග දෙකේදී කඩුලු 12 ක් ද, සමගින් කඩුලු 28 ක් දවා ගැනීමට සමත් වූහ. ඩිල්රුවන් පෙරේරා මේ වන විට තරග 22 කදී කඩුලු 93 ක් දවා ගනිමින් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකදී කඩුලු 100 ක් දවාගත් ක‍්‍රීඩකයා වාර්තාවට ළඟා වී සිටියේය. මුත්තයියා මුරලිදරන් තරග 27 කදී කඩුලු 100 ක් දවා ගනිමින් එම වාර්තාවට හිමිකම් කියයි.
මෙම තරග දෙකේදී දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් පිතිකරුවන් අතරින් කැපී පෙනුණි. දිමුත්, ඩුබායිහිදී පළමු ඉනිමේදී රැස්කළ ලකුණු 196 දැවැන්ත ශක්තියක් බවට පත්විය. මෙම ජයග‍්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන්ට පණිවුඩයක් ලැබුණි. ඒ අන්කිසිවක් නොව ක‍්‍රීඩකයන්ට බලපෑම් නොකරන්නේ නම් ජයග‍්‍රහණය කළ හැකි බවයි.
ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව උඩින් පාත් කළ උපනායක ළහිරු තිරිමාන්න දෙවැනි ටෙස්ට් තරගයේදී වතුර ගෙන යෑමේ කටයුත්තේ නිරතව සිටියේය. එය දෙස බොහෝ දෙනකු බලාසිටියද ඔහු එක්දින තරගාවලියට ඇතුළත්ව සිටියි.
උපුල් තරංග ප‍්‍රමුඛ එක්දින පිලට පමණක් ඇතුළත් ක‍්‍රීඩකයෝද දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වනවිටම ඩුබායි නුවරට පැමිණ සිටි අතර දෙරට අතර එක්දින තරගාවලිය පසුගිය සිකුරාදා ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබුණි. ශ්‍රී ලංකාවට ජයග‍්‍රාහි මානසිකත්වය තහවුරු කරගැනීමට එක්දින තරගාවලි ජයග‍්‍රහණයද වඩාත් වැදගත් වී තිබේ.
I සටහන: වරකාගොඩ ගමගේ