2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

ක්‍රීඩකයෝ බෑ කියන ලාහෝර් ගමනට මේතරම් උනන්දු කවුද?

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 376

“පාකිස්තානයට යන්න අපිට බෑ. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න.” යැයි ක‍්‍රීඩකයන්ගේ අත්සනින් යුත් ලිපියක් පසුගියදා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබුණි.  ඕනෑම අයකු වඩාත් ආදරය කරන්නේ තම ජීවිතයටය. එය ක‍්‍රීඩකයන්ටද එසේමය.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන කුමාර් සංගක්කාර පසුගියදා පවසා තිබුණේ පෞද්ගලික තරගාවලියකට පාකිස්තානයට යන්නේ නම් ක‍්‍රීඩකයන්ට විශාල මුදලක් ලබාදෙන බවට යෝජනා කළද තමන් එය ප‍්‍රතික්ෂේප කළ බවයි. 

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර විස්සයි20 තරගයක් මේ මස 29 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට නියමිතය. ආරක්‍ෂාව පිළිබඳ ගැටලුව හේතුවෙන් එම තරගයට සහභාගි විය නොහැකි බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගත ක‍්‍රීඩකයෝ ලිඛිතව දැනුම් දුන්හ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේදී ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකට ලක්වීමේ සිද්ධිය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීන්ගේ මෙන්ම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ මතකයේ රැඳී තිබෙනවාට සැක නැත. එය අමතක වී තිබුණේ නම් මේ දිනවල නැවත සිහිපත් වනු ඇත. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම 2009 වසරේ මාර්තු මස 03 වැනිදා පෙරවරුවේ පාකිස්තානයේ ලාහෝර් නුවරදී ප‍්‍රහාරයට ලක්වූ සිද්ධිය මාගේ සිත දැඩි කම්පාවට ලක් කළේය. එදින පෙරවරුවේ එම සිද්ධිය සැළවීමත් සමඟ මා හට දැනුණේ මුළු ලෝකයම නැති වූවාක් මෙනි. 

එම ප‍්‍රහාරයෙන් මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, චමින්ද වාස් සහ තිලාන් සමරවීර ඇතුළුව ක‍්‍රීඩකයන් හත්දෙනෙක් සහ පුහුණුකරුවන් දෙපළ තුවාල ලැබූහ. තිලාන් සමරවීර සහ තරංග පරණවිතාන අනූ නවයෙන් දිවිගලවාගෙන තිබුණි. තරංග පරණවිතානගේ පපුවට වැදුණු වෙඩි උණ්ඩය ඇතුළට නොගොස් නතර වී තිබුණේ දෙවියන්ගේ හාස්කමකින් මෙනි.

ශ්‍රී ලංකා පිල ප‍්‍රහාරයෙන් පසුව එදිනම රාත‍්‍රී ශ්‍රී ලංකාවට පැමිණි අතර ගුවන්තොටුපළේදී ක‍්‍රීඩකයන් පැවසුවේ තමන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිවේ යැයි නොසිතූ බවයි. වර්තමාන ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල්ද මෙම ප‍්‍රහාරයෙන් සුළු තුවාල ලැබූ අතර එම සංචාරය ලක්මාල්ගේ පළමු ජාතික කණ්ඩායමේ තරග සංචාරයද විය.

මෙම සිද්ධියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ආරක්‍ෂාව සපයමින් සිටි පොලිස් නිලධාරීන් හය දෙනෙක් සහ සිවිල් වැසියන් දෙදෙනෙක් මරණයට පත්වූහ. එහිදී පොලිස් නිලධාරීන් ජීවිතයෙන් වන්දි ගෙවමින් ක‍්‍රීඩකයන්ගේ බස් රථය රැක නොගත්තේ නම් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කන්ට පාකිස්තානය ගැන කථා කිරීමට හෝ දෙයක් ඉතිරි නොවේ. එහිදී බස් රථයේ රියදුරු තම ජීවිතය නොතකා බස් රථය නොනවත්වා ක‍්‍රීඩාංගණයට ධාවනය කිරීමද ක‍්‍රීඩකයන්ගේ ජීවිත ආරක්‍ෂා වීමට බලපෑවේය.

ටෙස්ට් තරගාවලියට සහභාගි වී සිටියදී ක‍්‍රීඩකයන් 30 කට අධික සංඛ්‍යාවකගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකර තිබුණි. එම ලිපියෙන් ක‍්‍රීඩකයන් දැනුම්දී තිබුණේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් තමන් පාකිස්තානයේ සංචාරය කිරීම ප‍්‍රතික්ෂේප කරන බවයි.

මෙම ලිපියට පාකිස්තානයට එරෙහිව ටෙස්ට් සහ එක්දින තරගාවලිවලට සහභාගි වූ වාර්ෂික ගිවිසුමට ඇතුළත්ව සිටින සියලුම ක‍්‍රීඩකයෝ අත්සන් කළහ. එක්දින සංචිතයට ඇතුළත්ව සිටින තිසර පෙරේරා මෙම ලිපියට අත්සන් නොකළ අතර තිසර පසුගිදා ලෝක කණ්ඩායම නියෝජනය කරමින් පාකිස්තානයේ තරගාවලියකට සහභාගි වීම අත්සන් නොකිරීමට හේතුව විය.

මෙම ලිපියත් සමඟ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පාකිස්තානයේදී විස්සයි20 තරගයකට ශ්‍රී ලංකා පිල සහභාගි කරවීමට ගෙන ඇති තීරණය ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කළේය. ශ්‍රී ලංකා පිල පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ එක්දින තරගාවලියට සහභාගි වී සිටි අවස්ථාවේදී නිර්මාණය වූ මෙම වාතාවරණය කණ්ඩායමේ මානසිකත්වයට එතරම් හොඳ නැත. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව පසුගිය සඳුදා රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරු විස්සයි20 පිල පාකිස්තානයේදී මේ මස 29 වැනිදා තරගයට සහභාගි වීම ස්ථිර කළේය. විධායක කමිටුව එම තීරණය ස්ථිර කළා පමණක් නොව ලිපියට අත්සන් කළ ගිවිසුම්ගත ක‍්‍රීඩකයන් පාකිස්තානයට යෑම ප‍්‍රතික්ෂේප කළහොත් දෙවැනි පෙළ කණ්ඩායමක් හෝ පිටත්කර යැවීමට එහිදී තීරණය කර තිබුණි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දෙවැනි පෙළ කණ්ඩායමක් සකස් කිරීම එතරම් අසීරු කටයුත්තක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. එසේ වුවහොත් එය අනාගතයට නරක ආදර්ශයක් වනු ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නියෝජනය කළ ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසක් පාකිස්තානු සංචාරයට ආරාධනා කළහොත් එය ප‍්‍රතික්ෂේප කිරීමට සූදානමින් සිටිති.

හිටපු ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකු ‘දේශය’ට පැවසුවේ “මේ සංචාරය සංවිධානය කරන ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන්ටත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එක්ක කණ්ඩායම සමඟ ඉන්න කිව යුතුයි” යැයි පැවසීය.

“ඔය කියන ආරක්‍ෂාවක් එහෙ නෑ. මුලින්ම විස්සයි20 තරගයක් විතරයි. ඊට පස්සෙ ටෙස්ට්වලටත් යන්න කියයි. ක‍්‍රීඩකයන්ගේ ජීවිතවලින් තමයි වන්දි ගෙවන්න වෙන්නේ.” යැයි එම ක‍්‍රීඩකයා වැඩිදුරටත් පැවසීය.

මෙම තත්ත්වය හමුවේ තරුණ ක‍්‍රීඩකයන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට නොහැකිව සිටින බව දැනගන්නට තිබේ. පාකිස්තානු ටෙස්ට් තරගාවලියට සහභාගි වූ ඇතැම් තරුණ ක‍්‍රීඩකයන් වාර්ෂික ගිවිසුමට ඇතුළත්ව නොමැතිවීම නිසා විරෝධය පළකළ ලිපියට අත්සන් කර නොමැත. ඒ හේතුවෙන් ඔවුන්ට දෙවන පෙළ කණ්ඩායමට ආරාධනා කරන බවද දැනගන්නට තිබේ. තවද එම ලිපියට අත්සන් කළද විස්සයි20 කණ්ඩායම පමණක් නියෝජනය කරන ක‍්‍රීඩකයන් කීපදෙනකු ද අසරණ වී සිටින බව දැනගන්නට තිබේ. මෙම තත්ත්වය හමුවේ ලිපියට අත්සන් කළ ක‍්‍රීඩකයන් කීපදෙනකුද දෙවැනි පෙළ කණ්ඩායමට ඇතුළත්වීමට බොහෝදුරට ඉඩ තිබේ.

කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් විස්සයි20 පිලක් පාකිස්තානු සංචාරයට සහභාගි කරවීමේ සූදානමක් පසුගිය සතිය මුලදී දැනගත හැකිවිය. එහිදී තිසර පෙරේරාට උප නායකත්වය පැවරෙනු ඇති බවට ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කථා පැතිර ගියේය. එහෙත් කුසල් ජනිත් කායික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම නිසා තිසරට නායකත්වය පැවරෙනු  පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත මෙම තරගය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කකු විශේෂ කථාවක් කිරීමටද සූදානම් වන බව දැනගන්නට තිබුණි. 

ක‍්‍රීඩකයන්ගේ ජීවිත අවදානමට ලක්කර පාකිස්තානයට යෑමට ක‍්‍රිකට් ලොක්කන්ට ඇති උවමනාව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ තනතුරකට යෑමේ සිහිනයක් ද යන්න කථාබහට ලක්ව තිබේ. 

I සටහන: යොහාන් භාසුර