2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

ක්‍රිකට් ආයතනයේ තනතුරු උතුරයි

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 106

සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් මෑතකදී ඉල්ලා අස්වූ ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් දෙදෙනකුට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ තනතුරු දෙකක් ලබාදීමට සූදානම් වන බව වාර්තා වේ. මෙහිදී හිටපු සුප‍්‍රසිද්ධ ක‍්‍රීඩකයකුට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉහළ තාක්‍ෂණ මධ්‍යස්ථානයේ තනතුරක්ද, අනෙක් හිටපු ක‍්‍රීඩකයාට කණ්ඩායම් කළමනාකරු තනතුරක් ද, පිරිනැමීමට නියමිත බව වාර්තා වේ. මෙම තනතුරු දෙකක් සමඟ හිටපු තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා පමණක් මේ දක්වා කිසිදු තනතුරක් ලැබී නොමැති තත්ත්වයක සිටී.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අතිරික්ත සේවකයන් සිටින බව එහි පාලනයට පත්වූ සභාපතිවරු ඇතුළු නිලධාරිහු අවස්ථා රැසකදී පැවසූහ. පාලනයට පැමිණි ඇතැම් සභාපතිවරුන් පැවසුවේ සේවකයන් අඩුකිරීම තමන්ගේ ප‍්‍රධානම කාර්යයක් බවයි. තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන පාලනය පත්වූ වහාම හිටපු සභාපති නිශාන්ත රණතුංග මහතාගේ හිතවතුන් යැයි සැළකූ රැසක් සේවයෙන් ඉවත් කළේය.

එය එසේ වුවද මේ වනවිට එම ඉවත් කළ සේවකයන් සංඛ්‍යාව මෙන්ම කීපගුණයක පුද්ගලයන් සේවයට බඳවාගෙන තිබේ. ඒ අතර කාර්යභාරයක් නොමැති පුද්ගලයන්ද දුසිම් ගණනින් වැටුප් ලබන බව ප‍්‍රසිද්ධ රහසකි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කාර්යභාරයක් නොමැති ඇතැම් නිලධාරීන් ලබන මාසික වැටුප ශ්‍රී ලංකාවේ පහළ මට්ටමේ සාමාන්‍ය සේවකයකුට වසරකටවත් නොලැබෙන බව තතු දන්නෝ පවසති.  

සටහන: වරකාගොඩ ගමගේ