2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

පරාජයේ නිරුවත වහගන්න ලාහෝර් ඇඳුම් අඳින ලොක්කෝ

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 129

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කකු ශ්‍රී ලංකා පිලේ ලාහෝර් සංචාරය අතරතුරදී ‘ලෝකෙට පරකාසෙ, ගෙදරට මරගාතේ’ ප‍්‍රකාශයක් කළ බවට මාධ්‍ය වාර්තා පළවී තිබුණි.

පාකිස්තානය තුළ ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග නොපැවැත්වුණ හොත් එරටේ ක‍්‍රිකට් කඩා වැටෙන බවත් එසේ වුවහොත් ආසියාවේ ක‍්‍රිකට් කඩා වැටෙන බවත් අදාළ ක‍්‍රිකට් ලොක්කා පවසා තිබූ බවට මාධ්‍ය වාර්තා පළකර තිබුණි.

අදාල ක‍්‍රිකට් ලොක්කා හෝ ඔහුත් සමඟ අත්වැල් බැඳගෙන ලාහෝර් සංචාරයට සහභාගි වූ ක‍්‍රීඩා බලධාරීන්ට ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් කඩා වැටී ඇති අගාධය නොපෙනී තිබීම පුදුමයකි. ඒ පිළිබඳව පොඩි හෝ හැඟීමක් තිබේ නම් මෙවැනි ප‍්‍රකාශයක් සාමාන්‍ය පුද්ගලයකු හෝ නොකරන බව අමුතුවෙන් කිවයුතු නැත.

පාකිස්තානු ක‍්‍රීඩකයෝ ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි 20 පිලට සම්පූර්ණ සුද්දයක් දුන්හ. ක‍්‍රිකට් ලොක්කෝ දැන් ලාහෝර් සංචාරය උළුප්පවමින් එක්දින සහ විස්සයි 20 පරාජය වළ දැමීමේ උත්සහයක නිරතව සිටිති.

වර්තමාන ක‍්‍රිකට් පරිපාලනයට විවිධ චෝදනා එල්ල වෙමින් තිබේ. එම චෝදනාවලින් රැසක් ක‍්‍රිකට් ආයතනය තුළ මහදවල් සිදුවන අකටයුතුකම්ය. ක‍්‍රිකට් ආයතනයේ මුදල් පිළිබඳ චෝදනා තිබුණ ද ක‍්‍රීඩා බලධාරීහු නොඇසුණා සේ සිටිති.

වර්තමාන ක‍්‍රිකට් පරිපාලනය ඉල්ලා අස්විය යුතු බව හිටපු ශ්‍රී ලංකා නායකයකු වන වර්තමාන ඛනිජ සම්පත් පිළිබඳව අමාත්‍ය අර්ජුන රණතුංග පුන පුනා පැවසුව ද කිසිවකු ගාණකටවත් ගත්තේ නැත. එය එසේ තිබියදී වෙනත් දේශපාලන පක්‍ෂවල ක‍්‍රියාකාරීන් ද මේ වනවිට සටනට බැස තිබේ.

සමාජය වාදය න්‍යාය කරගත් දේශපාලන පක්‍ෂයක ක‍්‍රියාකාරියකු ද පසුගිදා වර්තමාන ක‍්‍රිකට් පරිපාලනය සහ එහි ලොක්කකු ප‍්‍රසිද්ධියේ විවේචනය කළ ආකාරය දැකගත හැකි විය.

ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව දේශපාලන පක්‍ෂයක අභ්‍යන්තර ප‍්‍රශ්නයක් වෙනුවෙන් බිලිදිය නොහැකි බව දේශපාල ක්ෂේත‍්‍රයේ පවා කථා බහට ලක්ව තිබේ. ක‍්‍රිකට් ලොක්කකු දේශපාලන පක්‍ෂයක අර්බුදයකට මැදිව සිටින ඉහළ දේශපාලනඥයකුගේ ඔඩොක්කුවේ සිටීම වර්තමාන ක‍්‍රිකට් පරිපාලනයේ පැවැත්වීමට මූලික සාධයක් බවට පත්ව තිබේ.

වර්තමානයේ ශ්‍රී ලංකාවට ප‍්‍රබල රටවල්වලින් තරග සංචාර නොලැබෙන බවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග මහතා මාධ්‍යයකට පවසා තිබුණි. එම ප‍්‍රකාශයේ ද සත්‍යයක් නැතැයි ද කිව නොහැක්කේ ලබන ලබන දෙසැම්බර් මස දකුණු අප‍්‍රිකානු සංචාරයක් පැවැත්වීමට නියමිතව තිබුණ ද දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් බලධාරීන් මෙම සංචාරය අවලංගු කිරීම හේතුවෙනි.

කවුරු කෙසේ චෝදනා කළ ද වර්තමාන ක‍්‍රිකට් පාලකයන් ඉවත්වීමට කිසිදු සූදානමක් නොමැත. ඒ හේතුවෙන් ක‍්‍රීඩා බලධාරීන් දැන්වත් ජනතා මතයට ඇහුම්කන් දීම අවශ්‍යය.

සටහන: විශේෂ වාර්තාකරුවකු විසිනි.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00