2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

ඉන්දියා යන ටීම් එකට පරණ කකුල් එක්වෙන ලකුණු

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 210

කඩුලු රකින්න කුසල් ජනිත්

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ මීළඟ තරග සංචාරය වන ඉන්දීය තරගාවලියේ එක්දින තරගාවලියට තුවාල ලබා සිටින තුන් ඉරියව් ක‍්‍රීඩක අසේල ගුණරත්න සහභාගි වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දැනගන්නට තිබේ. අසේල එම සංචාරයේ ටෙස්ට් තරගාවලියට සහභාගි වීමට නොහැකි තත්ත්වයක පසුවෙයි.

අසේල ගුණරත්න ජාතික පිල නියෝජනය කළ කෙටි කාලය තුළ පිත්තෙන් සහ පන්දුවෙන් මතකයේ රැදෙන දස්කම් දැක්වීම හේතුවෙන් ඔහු කණ්ඩායමේ නොමැති වීම පිළිබඳව මේ වන විට ප්‍රේක්ෂකයන් තුළ දැඩි කථා බහක් නිර්මාණ වී තිබේ.

වාර්ෂික ක‍්‍රිකට් සම්මාන උළෙලේදී අසේල සම්මාන හතරක් ලැබීමත් සමඟ තවත් ඔහුගේ අවශ්‍යතාව දැනී තිබේ. 
ශ්‍රී ලංකාවේදී පසුගිය ජූලි මස ඉන්දියාවට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේ පන්දු රකිමින් සිටියදී අසේල වම් අතේ මහපටැඟිල්ලේ අස්ථි පිපිරීමකින් ආබාධයට ලක්විය. ඒ හේතුවෙන් අසේලට ඉන්දියාවට එරෙහිව සම්පූර්ණ තරගාවලිය සහ පාකිස්තානු සංචාරය අහිමිවිය.

අසේල ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන කාලය තුළදී සම්පූර්ණ සුවය ලැබුවහොත් එක්දින සහ විස්සයි 20 තරඟ හයට සහභාගි කරවීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා බලාපොරොත්තු වන බව ද වාර්තා වේ.

අසේල මේ වන විට පුහුණුවීම් ආරම්භ කර ඇති අතර ඔහු පුහුණු සැසිවලදී පන්දු යැවීමේ නිරතව වුවද පසුගිය බ‍්‍රහස්පතින්දා දක්වා පන්දුවට පහරදීමේ පුහුණුවීම් ආරම්භ කර නොතිබුණි.

දකුණතින් මඳ වේග පන්දු යවන 31 හැවිරිදි අසේල ටෙස්ට් තරග 6කදී ශතකයක් සහ අර්ධ ශතක තුනක් සමගින් සාමාන්‍ය 56.87ක් රඳවා ගනිමින් ලකුණු 455ක් රැස්කිරීමට සමත්ව සිටියි. අසේල එක්දින තරග 21කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 472 ක් රැස්කරමින් කඩුලු 18ක් දවා ගැනීමට සමත්ව සිටියි.

ආබාධයන්ට ලක්ව සිටි සෙසු ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ කඩුලු රකින ක‍්‍රීඩක සහ ප‍්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා, ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියේ සිට ක‍්‍රීඩා කිරීමට හොඳ ශාරීරික යෝග්‍යතාවෙන් පසු වෙති.

ඉන්දීය ටෙස්ට් තරගාවලියේදී කුසල් නැවතත් කඩුලු රකින්නා ලෙස කටයුතු කිරීමට පුහුණුවීම්වල නිරත වන බව වාර්තා වේ. එංගලන්තයේදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ආබාධයකට ලක්වීම නිසා කුසල්ට සිම්බාබ්වේ, ඉන්දීය සහ පාකිස්තානු යන සංචාර තුනම අහිමිවිය.

ඇන්ජලෝ මැතිව්ස් පසුගිය ඉන්දීය සංචාරය අතරතුරදී ආබාධයකට ලක්ව පාකිස්තානු සංචාරයට සහභාගි නොවීය.
ඉන්දියාවට එරෙහිව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ මස 16 වැනිදා කොල්කටාහිදී ආරම්භ වීමට නියමිතය. 

සටහන: යොහාන් භාසුර