කුසල් මෙන්ඩිස්, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගත මහේල ජයවර්ධන යැයි බොහෝ දෙනා පවසති. අනාගත මහේල ජයවර්ධන ගෙදර තබා ටෙස්ට් පිල පසුගිය බදාදා ඉන්දියාව බලා පිටත්ව ගියේය. ක‍්‍රීඩකයන්ට අඛණ්ඩව අත්දැකීම් ලැබීමේ අවස්ථාව ලබාදිය යුතු යැයි ක‍්‍රිකට් ප‍්‍රවීණයන් පවසද්දී තේරීම් කමිටුව කුසල් මෙන්ඩිස් ඉවත් කිරීම පදනම් විරහිතය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ක‍්‍රිකට් කමිටුවේ හිටපු සභාපති සහ තවමත් නිල නොවන උපදේශකයකු වන හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා මහතා පවසා තිබුණේ වැරදි හදාගැනීමට ක‍්‍රීඩකයන්ට අවස්ථාව දිය යුතු බවයි.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ඇතැම් තීරණ දෙස බැලීමේදී අර්ජුන, අරවින්ද වැනි ක‍්‍රීඩකයන්ට වඩා ක‍්‍රිකට් පණ්ඩිතයන් ශ්‍රී ලංකාවේ සිටින බව පෙනේ. ඉන්දියාව ශ්‍රී ලංකාවේදීම ශ්‍රී ලංකා පිල තලා පොඩිකර අඩියටම තල්ලු කර තිබෙන මේ අවස්ථාවේදී ඉන්දියාවට ගෙන යා යුත්තේ කණ රත්වෙන්න දිය හැකි ක‍්‍රීඩකයන්ය. එසේ නොමැතිව කණ්ඩායමෙන් ඉවතට විසිවූ ක‍්‍රීඩක භාග නොවේ.
ඉන්දීය සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය දෙස බැලීමේදී ශ්‍රී ලංකාව වැටී ඇති අඩියෙන් ගොඩ ඒමේ කිසිදු අවශ්‍යතාවක් හෝ වගකීමක් ක‍්‍රිකට් බලධාරීන්ට නොමැති බව පෙනේ. වර්තමාන තත්ත්වය තුළ ශ්‍රී ලංකාව කළ යුත්තේ අනාගතය සකස් කරගැනීමේ අරමුණ සිතේ තබාගෙන වැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීමට කටයුතු කිරීමය. ඒ සඳහා කළ යුත්තේ කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස් සහ නුවන් ප‍්‍රදීප් වැනි අත්දැකීම් ඇති ක‍්‍රීඩකයන් කණ්ඩායමේ රඳවා ගැනීමය.
මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමත් සමඟ ශ්‍රී ලංකා පිල කඩා වැටුණු බවට පිළිගැනීමක් තිබේ. එහිද සත්‍යයක් නැතුවාම නොවේ. මහේල සහ සංගක්කාර තවමත් දස්කම් අතර සිටින බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ හේතුවෙන් ඉතාමත් ඉක්මනින් තරුණයන් සංක‍්‍රාන්ති සමයෙන් මුදවා ගැනීමට මහේල සහ සංගක්කාර යන දෙපළට කෙටි කාලයක් නැවතත් ක‍්‍රීඩාකරන ලෙස ආරාධනා කරන්නේ නම් එහි කිසිදු වරදක් නැත.
මහේල සහ සංගක්කාර වර්තමාන තත්ත්වය යටතේ එවැනි යෝජනාවකට කෙබඳු ප‍්‍රතිචාරයක් දරන්නේ යන්න පිළිබඳව අපිට කිව නොහැක. නමුත් වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට ක‍්‍රමයක් සෙවිය යුතුය. තේරීම් කමිටුව සංචිතය තේරීමට පෙරම ටෙස්ට් තරගාවලිය සඳහා කුසල්ව සළකා නොබලන බවට ඔහුට දැනුම් දී තිබුණි. කෞෂාල්ව නැවතත් අතහැර දමනු ලැබීය.
නව තේරීම් කමිටු සභාපති ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතා පළමු මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසුවේ ක‍්‍රීඩකයන් ටෙස්ට්, එක්දින සහ විස්සයි20 ලෙස වෙන් කිරීමට බලාපොරොත්තු වන බවයි. කුසල් මෙන්ඩිස් යනු එවැනි හැන්දකින් බෙදීමට නොහැකි ක‍්‍රීඩකයෙකි. එය තේරීම් කමිටුවට නොතේරීම කණගාටුවට කරුණකි.
කුසල් පසුගිය පාකිස්තානු ටෙස්ට් තරගාවලියේදී අසාර්ථකවීම නිසා සංචිතයෙන් ඉවත්කර ඇති බවත් ඔහුව එක්දින සහ විස්සයි20 තරග සඳහා පමණක් ක‍්‍රීඩා කරවීමට නව තේරීම් කමිටුව තීරණය කර ඇති බවත් වාර්තා වේ.
ඉන්දියාවට එරෙහිව පසුගියදා ශ‍්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ශතකලාභීන් දෙදෙනාගෙන් කුසල් කෙනෙකු වන අතර කුසල් එස්.එස්.සී. ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 110 ක් රැස් කළේය. 22 හැවිරිදි කුසල් ටෙස්ට් තරග 22 කදී සාමාන්‍ය 33.51 ක් රදවා ගනිමින් ලකුණු 1441 ක් රැස්කර ඇති අතර එයට ශතක 3 ක් සහ අර්ධ ශතක 4 ක් ඇතුළත් වේ. කුසල්ගේ ස්ථානයට මැද පෙළ පිතිකරුවකු වන රොෂේන් සිල්වාට කණ්ඩායමේ ස්ථානය හිමිවනු ඇතැයි දැනගන්නට තිබේ. රොෂේන් ටෙස්ට් සංචිත කීපයකට ඇතුළත්ව සිටියද මේ දක්වා ටෙස්ට් වරම් හිමි නොවීමද එක අතකින් අසාධාරණය.
ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ප‍්‍රධානම වේගපන්දු යවන්නා වූ නුවන් ප්‍රදීප්ට ශාරීරික යෝග්‍යතාවය නොතිබීම හේතුවෙන් ස්ථානය අහිමිවිය. කෙසේ වෙතත් නුවන් ප‍්‍රදීප් තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටි බව වාර්තා වේ. නුවන් ප‍්‍රදීප්, ඉන්දියාවට එරෙහිව ගාල්ල ටෙස්ට් තරගයේදී කඩුලු හයක් දවාගත් පන්දු යවන්නායි. පුළුවන් කියද්දී ඔහුට අවස්ථාව නොදුන්නේ නම් කාට කියන්නද?
වේගපන්දු යවන ධම්මික ප‍්‍රසාද් කැඳවීමට අදහස්කර තිබුණ ද ඔහු තවදුරටත් තරගවලදී පන්දු යැවීම මැන බැලීම අවශ්‍ය බව තීරණය කිරීමෙන් ධම්මික අන්තර් සමාජ පුහුණු තරගවලට යොමුකිරීම වඩාත් කාලෝචිත පියවරකි. ඒ අනුව තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ලෙස දසුන් ශානක සංචිතයට ඇතුළත් විය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකයා ලෙස කොදෙව් සංචාරයට සහභාගි වූ ධනංජය ද සිල්වා ටෙස්ට් සංචිතයට ගෙන ආවේය. එම කැඳවීම ටෙස්ට් පිටියට කොතරම් ගැලපේද යන්න බලා සිටීමට සිදුවේ. කවුරු ඉවත් කළද 28 හැවිරිදි ළහිරු තිරිමාන්න සංචිතයට ඇතුළත්ව සිටින අතර ඔහු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සැබෑ වාසනාවන්තයෙකි. තිරිමාන්න ටෙස්ට් තරග 27 කදී සාමාන්‍ය 23.10 ක් රඳවා ගනිමින් ලකුණු 1063 ක් පමණක් රැස්කර තිබේ.
ආබාධයන්ට ලක්ව සිටි හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට පැමිණීම විශාල ශක්තියකි. ඉන්දියාවට එරෙහිව ගාල්ල ටෙස්ට් තරගයේදී තුවාල ලැබූ අසේල ගුණරත්න තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැතිවීම හේතුවෙන් එක්දින තරගාවලිය දක්වා විවේක ගැනීමට සිදුව තිබේ. ‘වවුලාගේ මඟුල් ගෙදර ගියා නම් ඒ විදියට හිටපන්’ යැයි කියමනක් තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලින්ට ද එය ආදේශ කරගත හැකිය.
I සටහන: වරකාගොඩ ගමගේ