2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

ද. අප්‍රිකාව පළමු තරගයෙන් ජය ගනියි - ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉවසීමක් නැතිකම ලොකු පාඩුවක්

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 05:39 110

දිනේෂ් චන්දිමාල් තවදුරටත් ඉවසීමේ ගුණය ප‍්‍රගුණ කළ යුතු බව ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර පෝට් එළිසබෙත්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ පසුගිය බ‍්‍රහස්පතින්දා ප‍්‍රදර්ශනය කළේය. දකුණු අප‍්‍රිකාව තරගයේ පස්වැනි දිනය වූ සිකුරාදා දිවා විවේකයට පෙර ලකුණු 206 ක ජයක් ලබමින් තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පෙරමුණට පැමිණියේය. 

ශ්‍රී ලංකා පරාජය මෙතරම් ඉක්මක්වීමට චන්දිමාල් ගැසූ පහර මහා පොදු සාධකය බවට පත්විය. 

ශ‍්‍රී ලංකාව කඩුලු හතරක් දැවී ලකුණු 225 ක් ලබා දකුණු අප‍්‍රිකානු වේග පන්දු යවන්නන් දැඩි වෙහෙසට පත්කර සිටියදී චන්දිමාල්, දඟ පන්දු යවන කේෂව් මහරාජ්ගේ පන්දුවකට පියවර දෙකක් ඉදිරියට පැන ගැසූ පහරින් පස්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වීමෙන් ශ‍්‍රී ලංකා බලය ගිලිහී ගියේය. 

ආරම්භක පිතිකරුවන් දෙපළ වූ දිමුත් සහ කෞෂාල් යුද්ධයකට නොදෙවැනි සටනක නිරත වෙමින්  ඕවර 33 ක් කඩුලු රැකගනිමින් ගොඩනැගූ ඉනිම එක පහරකින් ඇඳ වැටුණි. 

දකුණතින් වේග පන්දු යවන කාගිසෝ රබාඩා පැයට කිලෝමීටර 140 කට වැඩි වේගයෙන් යැවූ බවුන්සර් පන්දුවලින් ගැලවීමට කෞෂාල් සිල්වට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ ආකාරය ද දැකගත හැකි විය. 

දෙවැනි ඉනිමේදී කුසල් පෙරේරා හැරෙන්නට දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස්, දකුණු අප‍්‍රිකා වේග පන්දු යවන්නන් වෙහෙසට පත්කළහ.

දිනේෂ් චන්දිමාල් හිස ඉහළට දමා පහරක් ගැසීමෙන් කඩුල්ල විසිනොකරේ නම් අවසන් දිනයේ තව දුරටත් දකුණු අප‍්‍රිකානු පිල වෙහෙසට පත්කිරීමේ අවස්ථාව තිබුණි. 

ශ‍්‍රී ලංකා වේග පන්දු යවන්නන් පළමු ඉනිමේදී දකුණු අප‍්‍රිකානු පිතිකරුවන්ගේ පිත්තේ පිටත දාරය ආක‍්‍රමණය කළ ද දෙවැනි ඉනිමේදී එවැනි දඩයමකට ශ‍්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට අවස්ථාව නොලැබුණි. 

පෝට් එළිසබෙත් තණතීරුව වේග පන්දු යවන්නන්ට වඩාත් උචිත බව තරගයේ තෙවැනි දිනය වන විට සනාථ වී තිබුණි.
දකුණු අප‍්‍රිකාවේ වෙනත් තණතීරුවලට වඩා මෙම තරගය පැවැති තණතීරුව සුළු මන්දගාමී ගතියක් ප‍්‍රදර්ශනය කළේය. පිතිකරුගේ පිට ඉන්නේ පතිත වී කඩුල්ලෙන් ඉවතට දෝලනය වන පන්දු වඩාත් භයානක වූ බව පළමු දින තුන දෙස බැලීමේදී පැහැදිළි විය.

තරගයේ තෙවැනි දිනය වූ පසුගිය බදාදා පෙරවරුවේ පළමු පැය ඇතුළත කණ්ඩායම් දෙකේම පළමු ඉනිම දෙක අවසන් වූ අතර එහිදී බිඳ වැටුණු කඩුලු 20 න් කඩුලු 16 ක්ම වේග පන්දු යවන්නන්ගේ ගොඩට එකතු වී තිබුණි.

රංගන හේරත් දවාගත් කඩුලු දෙක සහ කේෂව් මහාරාජ් දවාගත් කඩුල්ල සමගින් දඟ පන්දු යවන්නන්ට කඩුලු තුනක් පමණක් ලැබුණි. දුවද්දී දැවී ගිය කයිල් ඇබට්ගේ කඩුල්ල සමගින් කඩුලු 20 සම්පූර්ණ වේ. 

දෙපිලම නිත්‍ය වේග පන්දු යවන්නන් තිදෙනකු සහ දඟ පන්දු යවන්නකු සමඟ සටනට අවතීර්ණ වී සිටියේය.  
සුරංග ලක්මාල් ප‍්‍රමුඛ පන්දු යවන්නෝ ප‍්‍රබල දකුණු අප‍්‍රිකානු පිලේ පළමු ඉනිම ලකුණු 286කට සීමා කිරීම ශ්‍රී ලංකාව ලැබූ ජයග‍්‍රහණයකි. දකුණු අප‍්‍රිකානු පිල පළමු ඉනිමේදී ලකුණු 400 කට අධික ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීමට සැළසුම්කර තිබුණාට සැක නැත. 

ශ්‍රී ලංකාව වේග පන්දු යවන්නන් පිළිබඳ දැඩි දෙගිඩියාවෙන් මෙම සංචාරයට පිටත්ව ගිය ද සුරංග ලක්මාල් කඩුලු පහක් දවා ගැනීමෙන් ඇන්ජලෝ මැතිව්ස් පළමු ඉනිමේ වගකීමෙන් ගලවා ගත්තේය.

දකුණු අප‍්‍රිකානු පිතිකරු ලැයිස්තුවේ ප‍්‍රධානියා වන හෂීම් අම්ලා සාර්ථක වීමට පෙර ක‍්‍රීඩාගාරයට පිටත්කර හැරීමට සුරංග ලක්මාල්ට හැකිවීම ශ්‍රී ලංකාවට දැඩි වාසියක් විය. 

දකුණු අප‍්‍රිකාව පළමු ඉනිමේදී ලකුණු 200කට ආසන්න වාසියක් ලබාගත්තේ නම් තරගය සිවුදින තරගයක් වීමට තිබූ අවස්ථාව ද වැඩිය. 

ශ්‍රී ලංකා පිතිකරුවන්නට දකුණු අප‍්‍රිකානු වේග පන්දු යවන්නන්ගෙන් ගැලවීමට නොහැකි වීමෙන් පළමු ඉනිම ලකුණු 205 කට සීමා විය. එහිදී ධනංජය ද සිල්වා නොවන්නට දකුණු අප‍්‍රිකාවට ලකුණු 150 ක පමණ වාසියක් ලැබීමෙන් තරගයේ වාසිය ගෙඩිය පිටින් ලැබීමේ අවස්ථාව තිබුණි.

වර්නන් ෆිලැන්ඩර්ගේ පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිතිකරුවන් තුළ සැළැස්මක් නොතිබුණු බව ඉනිම නැරඹීමේදී දැකගත හැකිවිය. 

මෙම තණතීරුවේ හොඳ පන්දුවට පූර්ණ ගෞරවය ලබා දෙමින් දුර්වල පන්දුවට ලකුණු ලබාගැනීමේ පිරිසිදු ටෙස්ට් ක‍්‍රීඩාවේ පන්දුවට පහරදීමේ පිළිවෙල අනුගමනය කළ යුතුව තිබුණද ඒ සඳහා අවශ්‍ය ඉවසීම ශ්‍රී ලාංකික පිතිකරුවන්ට නොතිබීම මේ පරාජයට එක් හේතුවක් විය.

♦ සටහන: වරකාගොඩ ගමගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00