කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ ධාවන පථය නැවත එළිමේ ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එය නියම ප‍්‍රමිතියට සකස් වේදැයි සැකයක් මතු වී ඇති බව වාර්තා වේ. මෙම ධාවන පථය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක‍්‍රීඩා අමාත්‍ය ධූරය දරන අවධියේදී දැවැන්ත මුදලක් දිය කරමින් නැවත එළීම කළ ද එය නියමිත ප‍්‍රමිතියට නොතිබීම නිසා මාස කීපයකදී පාවිච්චි කළ නොහැකි තත්ත්වයට පත්විය.
නව ව්‍යාපෘතිය යටතේ ධාවන පථය මිලිමීටර 100 ක් හෑරිය යුතු යැයි පවසමින් කොන්ත‍්‍රාත් සමාගම ඒ සඳහා අමතර රුපියල් මිලියන 35 ක් (ලක්‍ෂ 350 ක්) ලබා ගැනීමට ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ ද එය ක‍්‍රීඩා අමාත්‍යවරයා ප‍්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
මෙහිදී ධාවන පථය මීලිමීටර 100 ක් හෑරීමේ යෝජනාව සමග කොන්ත‍්‍රාත්තුවේ සඳහන් වර්ග අඩි 2000 ව්‍යාපෘතිය වර්ග අඩි 4000 ක් දවා වැඩි වන බව වාර්තා වේ. කොන්ත‍්‍රාත් සමාගම එවැනි අදහසක් පළ කරද්දී ධාවන පථය මිලිමීටර 50 වත් හෑරීමේ අවශ්‍යතාවක් නොමැති බවට සුගතදාස ක‍්‍රීඩාංගණයේ නිලධාරීන් පවසන බව ද දැනගන්නට තිබේ.
කොන්ත‍්‍රාත් සමාගම සහ ක‍්‍රීඩාංගණයේ නිලධාරීන් පරස්පර මත දැරීම හේතුවෙන් මෙවර නැවත එළීම ප‍්‍රමිතියෙන් තොරවීමේ අවදානමක් මතුවී ඇති බව ප‍්‍රවීණයන්ගේ අදහසයි. මෙම මිලිමීටර 100 කථාව ටෙන්ඩරය ලබා ගැනීමට ගත් උත්සාහයේදී අහිමිවූ මුදලක් පියවා ගැනීමේ උත්සහයක් බවට ද ඇතැම්හු සැක පළ කරති. මෙහිදී අවලංගු කළ ටෙන්ඩරය සහ නව ටෙන්ඩය මාරු කරමින් කොළ වසා ගැසීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කරන්නේ ද යන සැකය මතු වේ.
ධාවන පථය මිලිමීටර 50 ත් 100 ත් අතර හෑරිය යුතු යැයි නව ටෙන්ඩරයේ සඳහන්ව ඇති බව දැනගන්නට තිබේ.
මෙම ව්‍යාපෘතියේ ටෙන්ඩර් කැඳවීමේදී ඇතිවූයේ යැයි කියන දුර්වලා හේතුවෙන් නැවත ටෙන්ඩර් කැඳවන ලෙස කැබිනට් මණ්ඩලය නියෝග කළේය. එම නියෝගයට අනුව නැවත ටෙන්ඩර් කැඳවා මීට මාස කීපයකට පසුව ව්‍යාපෘතිය කොන්ත‍්‍රාත් සමාගමකට පැවරීය. සුගතදාස ක‍්‍රීඩාංගණයෙන් ගිවිසුම ලැබෙන තෙක් ඉදිකිරීම් ආරම්භ නොකරන බව කොන්ත‍්‍රාත් සමාගම පවසා ඇති බව වාර්තා වේ.
මෙම ධාවන පථය නැවත එළීම අවසන් කර දෙසැම්බර් මස අවසානයේ ක‍්‍රීඩා අමාත්‍යංශයට බාර දෙන බවට පැවසුණ ද ඉදිකිරීම් මේ දක්වා ආරම්භ වී නොමැති පසුබිම තුළ ලබන මාර්තු මස ද ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.
සටහන: භාසුර