2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

මෙහෙමත් පරදින්න පුළුවන්ද?

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 166

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා ටෙස්ට් පිල වසර 35 කට අධික ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයට පසුගිය සඳුදා දරුණුතම පරාජය සටහන් කළේය. ඉන්දීයාවට එරෙහිව නාග්පූර්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය සිවුදින තරගයක් බවට පත්කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉන්දියාවට ඉනිමක සහ ලකුණු 239 ක දැවැන්ත ජයක් ලබාදෙමින් ඔවුන්ට ඉහළතම ටෙස්ට් ජයග‍්‍රහණය ගෙන දුන්හ.

ශ්‍රී ලංකා පිලට වැළඳී ඇති රෝගය හඳුනාගත නොහැකි තරමටම උත්සන්න වී ඇති බව දැන් නම් ඉතාමත් පැහැදිලිය. පිතිකරුවන් අසාර්ථක වනවිට පන්දු යවන්නෝ සාර්ථක වෙති. පිතිකරුවන් සාර්ථක වෙද්දී පන්දු යවන්නෝ අසාර්ථක වෙති. එසේ නොමැති වුවහොත් උඩපන්දු කීපයක් බිම දමා ප‍්‍රතිවාදීන්ට වාසියට පාර කපති. නාග්පූර් ටෙස්ට් තරගයේදී අංශ දෙකෙන්ම අසාර්ථක වූ අතර එහිදී කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීම නිසා පිතිකරුවන්ට ප‍්‍රථමයෙන් ඇඟිල්ල දිගු වේ. පළමු ඉනිම පළමු දිනයේදීම ලකුණු 205 කට සීමාවීමෙන් තරගය ආරම්භයේම ප‍්‍රතිඵලය කීමට ඇතැමුන් සමත් වූ අතර එම අනාවැකිවල වෙනසක් නොවීය.

ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිමේදී හොඳින් ලකුණු තිබූ තණතිල්ලේ කඩුලු රැකගනිමින් අවම වශයෙන් දින එකහමාරක් හෝ ගත කළේ නම් තරගයේ ප‍්‍රතිඵලය ශූන්‍ය කිරීමේ අවස්ථාව තිබුණි. එය එසේ නොවීමෙන් ඉන්දීය පිතිකරුවන්ට ශතක පෙරහරක නිදහසේ යෑමේ මාර්ගය පෑදුණේය.

ශ්‍රී ලංකා පිලට ඉන්දීය පිතිකරුවන්ගේ ලකුණු රැස්කිරීම පියවි ඇසට ලැබුණු ආදර්ශයකි. චෙටේස්වාර් පුජාරා දුර්වල පන්දු තෝරා බේරා ගනිමින් ලකුණු රැස්කරද්දී මුරලි විජේ සහ විරාට් කෝලි වේගයෙන් ලකුණු රැස් කළහ. එහිදී කෝලි එකේ ලකුණු රැස්කරමින් අන්තයන් මාරුකරගත් ආකාරය ප‍්‍රශංසනීය විය. පුජාරා ඉදිරි පාදයේ ආරක්‍ෂාකාරීව පිළිගන්නා පන්දුවට සමාන පන්දුවට විරාට් කෝලි පිට ඉන්න ප‍්‍රදේශයෙන් හතරේ පහර ගැසූ ආකාරය විශේෂඥ විස්තර විචාරකයන්ගේ අවධානයට ලක්විය.

ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී ලකුණු රැස්කළ ආකාරය අනුව ලකුණු 405 ක පීඩනය දින දෙකක් රඳවා ගැනීමට සමත් වූයේ නම් එය අශ්චර්යයකි. කෙසේ වෙතත් දිනයක් හෝ කඩුලු රැකගැනීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා පිතකිරුවෝ ලකුණු 166 කට දැවී ගියහ. යොවුන් ආරම්භක පිතිකරු සදීර සමරවික‍්‍රම තෙවැනි දිනයේ ඉෂාන්ත් ශර්මාට කඩුල්ල විවෘත කර දුන්නේය. එම ඉනිමේදී වඩාත් කැපී පෙනෙන දැවීයෑම ළහිරු තිරිමාන්න ප‍්‍රදර්ශනය කළේය. උමේෂ් යාදේව් පිට ඉන්නේ ‘වයිඩ්’ සීමා රේඛාව ආසන්නට යැවූ පන්දුවට ළහිරු තිරිමාන්න මහත් ආයාසයකින් ගැසූ පහර පහසු උඩ පන්දුවක් බවට පත්විය. කුමාර් සංගක්කාර පෝෂණය කළ අංක තුන ස්ථානයේ ළහිරු තිරිමාන්න තව දුරටත් ක‍්‍රීඩා කළහොත් කණ්ඩායම මන්දපෝෂණයෙන් අගති යනවාට නම් සැක නැත. 

මෙම සංචාරයේදී යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස් ඉවත්කර තිරිමාන්නට අවස්ථාව ලබා දීමේ තීරණය ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් සම්පතක් විනාශ කිරීමක් බව නැවත නැවතත් කිව යුතුය. තිරිමාන්න යනු එදාවේල පිතිකරුවෙක් බව ඔහුගේ ක‍්‍රීඩා විලාශයෙන් පැහැදිලි වේ. වසරක පමණ කාලයක් සංචිතයක් පැත්තකවත් නොසිටි තිරිමාන්න හොර රහසේම සංචිතයට රිංගවූ අතර පසුව ඔහු ස්ථිර සාමාජිකයකු බවට ද පත් කරනු ලැබීය. ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන් වන රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා අසාර්ථක වීමද ලකුණු 300 කට යෑමට නොහැකි වීමට බලපෑවේය. පිතිකරු ලෙස ප‍්‍රයෝජනවත් වේ යැයි විශ්වාසය තැබූ දසුන් ශානකද අසාර්ථක වීම කඩා වැටීමට තවත් හේතුවකි.

දිල්ලිහිදී ඊයේ (02) ආරම්භ වීමට නියමිතව තිබූ තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී හෝ රොෂේන් සිල්වාට අවස්ථාවක් ලැබේ යැයි බලා සිටීම සිදුව තිබේ. තිරිමාන්නට ලැබුණු අවස්ථාව රොෂේන්ට ලැබුණේ නම් ඇතැම් විට තිලාන් සමරවීරගේ ආදර්ශයක් බවට පත්වීමට ඉඩ නැතුවා නොවේ.

තේරීම් කමිටුව පසුගිය කාලය පුරාම එක සංචාරයක අසාර්ථක වන ක‍්‍රීඩකයන් ඉවත්කර ඊට පෙර සංචාරයේ අසාර්ථක වී ඉවත් කළ ක‍්‍රීඩකයන් සංචිතයට ඇතුළත් කිරීම පුරුද්දක් ලෙස කරගෙන ගියේය. නව තේරීම් කමිටුවේ ද එහි වෙනසක් නැත. මෙම තරගයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක‍්‍රීඩක දසුන් ශානක පන්දුව පළුදු කිරීමේ වරදට හසුව දඩයකට යටත් කිරීම කැපී පෙනෙන සිද්ධියක් බවට පත්විය. තරගයේ දෙවැනි දිනය වූ සෙනසුරාදා දසුන් පන්දුව පළුදු කළ බවට විනිසුරුවන් පැමිණිලි කළ අතර තරග තීරක ඩේවිඩ් බූන් මහතා දඬුවම් නියම කළේය.

අන්තර්ජාතික කි‍්‍රකට් සභා රෙගුලාසි මාලාවේ 2.2.9 වගන්තිය කඩකළ දසුන්ට තරග මුදලින් මුදලින් 75% ක දඩයක් නියම විය. ඊට අමතරව ඔහුට දඬුවම් ලකුණු එසේ නැත්නම් ඍණ ලකුණු 3 ක් ද එකතු විය. ඉදිරි මාස 24 ක කාලය තුළ දසුන් වෙනත් විනය විරෝධී සිද්ධියකට වරදකරු වී තවත් සෘණ ලකුණක් ලැබුණහොත් ඔහුට ඉන්පසු ආසන්නතම තරගයක් තහනම් වීමේ අවදානම තිබේ. දසුන්ට මෙම තහනම පනවමින් තරග තීරක ඩේවිඩ් බූන් මහතා කළ තිබූ ප‍්‍රකාශය වඩාත් වැදගත් බව හැගේ.

“මේ දසුන්ගේ තරග දිවියේ ආරම්භක සමයයි. මෙවැනි දඩයක් පැනවීම මගින් ඔහු ඉදිරියේදී පන්දුවේ සැබෑ තත්ත්වය ආරක්‍ෂා කරගැනීමට වඩාත් උනන්දු වන බව මට විශ්වාසයි”

මෙයින් පැහැදිලි වන්නේ දසුන් නවක ක‍්‍රීඩකයකු වීම නිසා දඬුවම අවම වී ඇති බවයි. කෙසේ වෙතත් මෙම සිද්ධිය ශ්‍රී ලංකාව රැකගෙන සිටින කීර්තිනාමයට නම් එතරම් හොඳ එකක් නොවේ. නිරෝෂන් දික්වැල්ල මෙම වසරේ පෙබරවාරි මස සිට මේ දක්වා අවස්ථා දෙකකදී දඩුවම් ලකුණු දෙක බැගින් ලබා දඩුවම් ලකුණු 4 කට හිරවී සිටියි. දික්වැල්ලට 2019 පෙබරවාරි මස 21 වැනිදා දක්වා කාලය තුළ තවත් ලකුණු 4 ක් එකතු කරගතහොත් වසරක තහනමකට ලක්වේ.      
මේ අතර ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධානතම පන්දු යවන්නා වන වමතින් දඟපන්දු යවන රංගන හේරත් දෙවැනි ටෙස්ට් තරගයේදී පිට කොන්දේ ආබාධයකට ලක්වීම නිසා ඊයේ ආරම්භ වූ දිල්ලි ටෙස්ට් තරගය අහිමිවිය.

රංගන පසුගිය බ‍්‍රහස්පතින්දා නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහුගේ ස්ථානයට දකුණතින් පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ සංචිතයට එකතු විය. 

සටහන: වරකාගොඩ ගමගේ