“මගේ අවසර නැතුව කොහොමද යන්නේ. අන්න මම දැන් අත්සන් කළා, අද හවස යයි” ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගිය අඟහරුවාදා දහවල් පැවසීය.
ඉන්දියාව බලා පිටත්ව යෑමට සූදානම් වූ ශ්‍රී ලංකා එක්දින පිලේ ක‍්‍රීඩකයන් ගුවන්තොටුපොළෙන් නැවතත් නිවෙස් බලා පිටත්කර හැරීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා පසුගිය සඳුදා රාත‍්‍රී කටයුතු කළේය. අමාත්‍යවරයාගේ එම දැඩි පියවර බොහෝ දෙනකුගේ ප‍්‍රශංසාවට ලක්වූ අතර ඉන් පසුව පැවැති මාධ්‍ය හමු කීපයකදී අමාත්‍යවරයා දැඩිව ඒ ගැන අදහස් ප‍්‍රකාශ කර තිබුණි.
මෙම සිද්ධිය අවස්ථාවේදී ක‍්‍රීඩා අමාත්‍යවරයා ක‍්‍රීඩකයකුට දැඩිව දොස් නැගූ බවද වාර්තා විය. එහිදී අමාත්‍යවරයා “තමුන් හිතුවද මම පඹයෙක් කියලා” යැයි විමසූ බවද දැනගන්නට තිබේ. ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා නීතියට අනුව ඕනෑම ක‍්‍රීඩා සංගමයක් ජාතික කණ්ඩායමක් තරගාවලියකට සහභාගි කරවන්නේ නම් එයට ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබීම අනිවාර්ය වේ.
ඉන්දීය පිලට එරෙහිව අද (10) ආරම්භ වන එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින පිලේ නායක තිසර පෙරේරා ඇතුළු ක‍්‍රීඩකයන් 10 දෙනෙක් ක‍්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියෙන් තොරව පසුගිය සඳුදා රාත‍්‍රී ඉන්දියාව බලා පිටත්ව යෑමට සූදානම් වූහ. ක‍්‍රීඩකයන් දසදෙනා කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් ගමන සඳහා අවශ්‍ය සියලුම කටයුතු ද අවසන් කර තිබූ අතර ක‍්‍රීඩකයන් දෙදෙනකු ගුවන් යානයේ අසුන්ගෙන සිටි බව ද වාර්තා විය.
ක‍්‍රීඩා අමාත්‍යවරයා සංචිතයට අත්සන ලබා නොමැති බව ක‍්‍රීඩකයන් දැනුවත්ව නොසිටින්නට ඇත. මේ හේතුවෙන් ක‍්‍රීඩකයන් දැඩි අපහසුතාවට පත්වූවාට සැක නැත. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වැටුප් ලබන ප‍්‍රධාන තනතුරක් දරන නිලධාරියකු ක‍්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියෙන් තොරව ක‍්‍රීඩකයන් පිටත්කර හැරීමට පියවර ගෙන ඇති බව පසුව දැනගන්නට ලැබුණි. ක‍්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසුවේ මේ පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ද නොදැන සිටි බවයි.
ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව මෙම සංචිතය පසුගිය 1 වැනිදා පස්වරුවේ තෝරාගෙන තිබුණද එය ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර ඇත්තේ 4 වැනිදා පස්වරැ 4.00 න් පසුව බව දැනගන්නට තිබේ. ක‍්‍රීඩා අමාත්‍යවරයා ඒ වනවිට කාර්යාලයේ නොසිටි අතර ඒ හේතුවෙන් ඇමැතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමට අවස්ථාවක් නොතිබූ බවද කියති.
ක‍්‍රිකට් ආයතනයේ අදාළ නිලධාරියා තමන් වෙතින් සිදුවූ ප‍්‍රමාදය මගහරවා ගැනීමට ඇමැතිවරයාගේ අනුමැතිය නොමැතිව කණ්ඩායම පිටත්කර හැරීමට පියවර ගෙන තිබුණි. මෙම ක‍්‍රීඩකයන් දසදෙනා ගුවන්තොටුෙපාළට පිටත් කර හැරීමට 20 දෙනකුගෙන් පමණ සංචිතයකට ගමන් කළ හැකි සුපිරි බස් රථයක් යොදාගෙන තිබූ බවත් දැනගන්නට තිබේ. මෙම එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ක‍්‍රීඩකයන් 16 දෙනකු ඇතුළත්ව සිටි අතර ඒ පිළිබඳව ද මේ වනවිට විවිධ කථා පැතිර යමින් තිබේ. එයට ටෙස්ට් තරගාවලියට සහභාගි වූ ක‍්‍රීඩකයන් 6 දෙනකු සහ ශ්‍රී ලංකාවෙන් පිටත් වූ ක‍්‍රීඩකයන් දසදෙනා ඇතුළත් වූහ.
මෙම සංචිතයට පසුගිය කාලයේ දස්කම් නොදැක්වූ තුන් ඉරියව් ක‍්‍රීඩකයන් දෙදෙනකු රිංගවා තිබූ අතර ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් ඉවත්කර තිබේ. මෙම නොගැලපීම වසන් කිරීමට අමාත්‍යවරයාගේ අනුමැතියෙන් තොරව කණ්ඩායම පිටත්කර හැර ඇති බවටද කතා පැතිර ගියේය. කෙසේ වෙතත් ක‍්‍රීඩා අමාත්‍යවරයා ක‍්‍රිඩකයන් පිළිබඳව අවධානය යොමු කිරීමකින් තොරව පසු දින ක‍්‍රීඩකයන් 16 දෙනාටම අවසර ලබා දී තිබීමද විශේෂයෙන් සැලකිය යුතු කරුණකි.
ක‍්‍රීඩා අමාත්‍යවරයා පසුගිය බදාදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවේ ක‍්‍රීඩකයන් හරවා යෑමෙන් සිදුවූ මූල්‍ය පාඩුව ක‍්‍රිකට් ආයතනයේ චෝදනාලාභී නිලධාරියාගෙන් අයකර ගතයුතු බවයි. “නයෙක් වුවත් අහම්බෙන් හෝ පෙනේ පිප්පුවේ නැතිනම් දර මිටි බැඳීමට ගනී’’ යැයි කියමනක් තිබේ. ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ මෙම ක‍්‍රියාවද එවැනි පෙනේ පිප්පීමක් විය හැකි යැයි බොහෝ දෙනා පවසති.
විශේෂ ලියුම්කරුවකු විසිනි