ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල පසුගිය ඉරිදා නැවත කාලයකට ළඟාකරගත හැකිවේ යැයි විශ්වාස කළ නොහැකි අවස්ථාවක් මග හැරියේය. ඉන්දීය පිල ඉන්දියාවේදී එක්දින තරගාවලියකදී පරාජය කිරීමේ අවස්ථාව ශ‍්‍රී ලංකා පිතිකරුවෝ එහිදී දන්දුන්හ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට 2017 වසර දැඩි අපල සහගත වසරක් කිවහොත් එය නිවැරදිය. වසර දෙකක පමණ කාලයක් තුළ ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසක් ආබාධයන්ට ලක්වූ අතර වාසනාව කියන ගුණය නම් ශ‍්‍රී ලංකා පිල තුළින් ප‍්‍රදර්ශන වූයේ ඉතාමත් අහම්බෙනි.
මෙම වසරේ ශ‍්‍රී ලංකා පිල සහභාගි වූ එක්දින තරගාවලි හයෙන් පහක් පරාජයට පත් වූ අතර ඉන් තුනක්ම 5-0 ක පරාජය වීම වඩාත් ඛේදජනකය. ඉතිහාසයේ පළමුවරට ශ‍්‍රී ලංකාවේදීම සිම්බාබ්වේ හමුවේද එක්දින තරගාවලි පරාජයක් ලැබීය. බංග්ලාදේශයට එරෙහිව ශ‍්‍රී ලංකාවේදී පැවැති තරගාවලිය පමණක් 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කළේය.
විශාකාපට්නම්හිදී ද නැවත නැවතත් ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගෙන් පෙර වැරැද්දම දැකිය හැකි විය. උපුල් තරංග වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් අතිසාර්ථක ආරම්භයක් ගෙන දුන්න ද සෙසු පිතිකරුවෝ කඩුලු පෙරහරේ ගමන් කළහ. ශ‍්‍රී ලංකා පිල ඕවර 27 ක් අවසන් වන විට කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 160 ක් ලබා ලකුණු 5.92 කට වැඩි වේගයක් රඳවාගෙන සිටියද සෙසු පිතිකරුවන් අසාර්ථක වීමෙන් ලකුණු 215 කට සීමාවිය.
ලෝන් ඕෆ් සහ ලෝන් ඕන්වලට පන්දුව ස්ථානගත කරමින් ඕවරයකට ලකුණ බැගින් ලකුණු හතරක් රැස්කිරීමට අසමත් පිතිකරුවන් සිටීම මෙහිදී වඩාත් බරපතළ වන අතර පළමුවෙන්ම මොවුන්ට ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ දකුණු අප‍්‍රිකාව වැනි රටවල් එවැනි අවස්ථාවලදී ඉනිම ගොඩනගන ආකාරය බැලීමේ අවස්ථාව සළසා දියයුතුය.
ශ‍්‍රී ලංකාව මෙම පරාජය ලැබුවේ විරාට් කෝලි, රවීන්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අෂ්වින් යන ඉන්දීය ප‍්‍රබල ක‍්‍රීඩකයන් නොමැති තත්ත්වයක් තුළ බවද අමතක නොකළ යුතුය.
නායක තිසර පෙරේරා සහ සචිත් පතිරණ තුන් ඉදිරියව් ක‍්‍රීඩකයන් වුවත් ඔවුන්ගෙන් තුන් ඉරියව් ප‍්‍රදර්ශනය වන්නේ ඉතාමත් කළාතුරකිනි. ශ‍්‍රී ලංකා තේරීම් කමිටු තුන් ඉරියව් යන ලේබලය අලවා ‘භාග ක‍්‍රීඩකයන්’ ක‍්‍රීඩා කිරීම නතර නොකළහොත් ලබන වසරද සුබ නොවනු ඇත.
එක්දින පිලට තුන් ඉරියව් ක‍්‍රීඩකයන් දෙදෙනකු උපරිම වශයෙන් සිටියහොත් එය ප‍්‍රමාණවත්ය. නායක තිසර පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් අනිවාර්යෙන් තුන් ඉරියව් ක‍්‍රීඩකයන් ලෙස ක‍්‍රීඩා කරති. අංක හත ස්ථානයේ තිසර පන්දුවට පහර දෙන්නේ නම් එතැන් සිට පහළට පිතිකරුවන් හතර තුන් ඉරියව් ක‍්‍රීඩකයන් සෙවීමට යෑමෙන් ශ‍්‍රී ලංකා පිල අමාරුවේ වැටී සිටියි.
අකිල ධනංජය හෝ වෙනත් නිත්‍ය පිට දඟ පන්දු යවන්නෙකු ක‍්‍රීඩා කරන්නේ නම් ‘භාග’ පා දඟ පන්දු යවන්නකු වෙනුවට නමගිය පා දඟ පන්දු යවන්නකු ක‍්‍රීඩා කළ යුතුය. ඔහු මාලින්ද පුෂ්පකුමාර හෝ ජෙෆ්රි වැන්ඩසේ හෝ වෙනත් පා දඟ පන්දුවටම සුවිශේෂ දස්කම් දැක්වූවෙක් විය යුතුය. ඔහුට ස්ථාවර වීමට තරගය සහ කාලය ලබාදීම වඩාත් වැදගත් වී තිබේ.
පා දඟ පන්දු යවන්නාගේ භූමිකාවේ තුන්ඉරියව් ක‍්‍රීඩකයන් යැයි කියන මිලින්ද සිරිවර්ධන, සචිත් පතිරණ සහ චතුරංග ද සිල්වා ක‍්‍රීඩා කළද ප‍්‍රතිඵල රහිතය. ශ‍්‍රී ලංකාව වසර කීපයක සිට ‘වානම් වා පෝනම් පෝ’ ක‍්‍රිකට් ක‍්‍රීඩාවක නිරතව සිටියි. පන්දු යැවීම හෝ පන්දුවට පහර දීම යන දෙකෙන් එකක් සාර්ථක වේ යැයි විශ්වාසය තබා තුන් ඉදිරියව් ක‍්‍රීඩකයන් යැයි කියන භාග යොදාගැනීම දැන් පුරුද්දක් කරගෙන තිබේ. එය අසාර්ථක ක‍්‍රමයක් බව මෙම වසරේ මාර පරාජයන් කදිම සාක්‍ෂියකි.
බදාදා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා වැඩ ඇල්ලූ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට මේ පිළිබඳව දැඩි වගකීමෙන් කටයුතු කිරීමට සිදුවී තිබේ. හතුරුසිංහ එය කරන්නේ දැයි අපි බලා සිටිමු.
යොහාන් භාසුර, (ඉන්දියාවේ කටාක් සිට....)