ග්රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ ‘අටුව කඩා පුටුව හැදීමේ’ ක්‍රියාපිළිවෙතත් සමඟ ශ්‍රී ලංකාවේ මිල කළ නොහැකි ක්‍රිකට් සම්පත් විනාශවීමේ අවදානමකට ලක්ව තිබේ. ක්‍රිකට් තේරීම් කමිටුවේ ඇතැම් සාමාජිකයන් රූපවාහිනී සාකච්ඡාවලදී ලොකු කථා දෙඩෙව්වද ප්‍රායෝගිකව සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. වර්තමාන තේරීම් කමිටුවට ක්‍රීඩකයන්ගේ Class එක සිංහලෙන්ම කියෙනවා නම් ‘පංතිය’ හඳුනාගැනීමට නොහැකිව සිටියි.
තේරීම් කමිටුවේ එම දුර්වලතාමගින් දැන් පැවැත්වෙන ඉන්දීය තරගය සංචාරයේ සියලුම අංශවලින් 22 හැවිරිදි පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ සේවය අහිමි කෙරිණි. එම අහිමිකිරීම ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් සම්පතක් විනාශ කිරීමට මුලපිරීමක් යැයි හැඳින්වුවහොත් එහි වරදක් නැත. මෙය සැබැවින්ම අනාගත ශ්‍රී ලංකා පිලේ මහේල ජයවර්ධන ගෙදර තැබීමක් වැනිය. ශ්‍රී ලංකා වයස 15 න් පහළ කණ්ඩායමේ සිට නායකත්වයේ කටයුතු කර තිබෙන කුසල් වසර කීපයක් අඛණ්ඩව කණ්ඩායමේ රැඳී සිටියහොත් ක්‍රිකට් භාණ්ඩාගාරයක් වීමේ අවස්ථාව තිබේ. කුසල් ටෙස්ට් තරග 22 කදී සහ එක්දින තරග 39 කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දස්කම් දක්වා තිබේ. කුසල් සාමාන්‍ය 32 කට වඩා රඳවා ගනිමින් ටෙස්ට් ලකුණු 1441 සහ එක්දින ලකුණු 1156 ක් රුස්කර සිටින යොවුන් පිතිකරුවෙකි.
ඉන්දීය සංචාරයේ ටෙස්ට් තරග තුනේදීම සදීර සමරවික්‍රමට අවස්ථාව ලැබුණි. ඔහු එහිදී සැළකිය යුතු දස්කම් දැක්වීමට අපොහොසත් වූ අතර තරග තුනේ ඉනිම හයේදී බිංදු දෙකක් සමගින් ලකුණු 74 ක් පමණක් රුස් කළේය. කඩුලු රකින්නකු වන සදීර එහිදී ෆෝවඩ් ෂෝට්ලෙග් ස්ථානයේ පන්දු රකිමින් අවස්ථා කීපයකදී පන්දුව ශරීරයේ වැදීමෙන් ආබාධයන්ට ලක්වූ අතර ස්කෑන් පරීක්ෂණයකට ද යොමු කිරීමට සිදුවිය.
ටෙස්ට් තරගාවලිය අවසන් වෙද්දීම ශ්‍රී ලංකා පිලේ කළමණාකාරිත්ව තුළ සදීර ටෙස්ට් තරගවලට පැමිණිය යුත්තේ එක්දින සහ විස්සයි20 තරගවලට ක්‍රීඩා කළ අත්දැකීම් ඇතිව යන මතය නිර්මාණය වී තිබූ බව වාර්තා වේ.
කුසල් මෙන්ඩිස් ෂෝට්ලෙග් ස්ථානයේ ඉතාමත් හොඳින් පන්දු රකින ආකාරය තේරීම් කමිටු සාමාජිකයන් දැක නොමැති නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය තුළ ස්ථාපිත කර ඇතැයි කියන තාක්ෂණ මධ්‍යස්ථානයට ගොස් වීඩියෝ නැරඹිය හැකිය. කුසල් මෙන්ඩිස් සියලු කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී සදීරට වඩා ඉදිරියෙන් සිටින බව එවිට තේරුම් ගත හැකිවනු ඇත.
පාකිස්තානු එක්දින තරගාවලියේදී සදීරට ලැබුණු අවස්ථා දෙකේදීම ලකුණු නොලබා දැවී ගියේය. සදීර පළමු තරගයේදී අංක 5 ස්ථානයේ ද, දෙවැනි තරගයේදී ආරම්භ පිතිකරු ස්ථානයේ ද, පන්දුවට පහර දුන්නේය. ඉන්දියාවට එරෙහිව තෙවැනි එක්දින තරගයේදී තිරිමාන්න ඉවත්කරමින් සදීරට අවස්ථාව ලබාදීම අගය කළ යුතුය. එය සදීරගේ තෙවැනි එක්දින තරගය වූවද ඔහු චකිතයකින් තොරව පහර දෙමින් ලකුණු 42 ක් රැස් කිරීම කැපී පෙනිණි.
සදීර වැනි දක්ෂයන් ඉදිරියට ගෙන ආ යුතුය, එහි විවාදයක් නොමැත. නමුත් එය ඊට වඩා දක්ෂයකු විනාශ කිරීමකින් තොරව විය යුතුය. තරුණයන්ට අවස්ථාව නොදුනහොත් ඇන්ජලෝ මැතිව්ස් සහ උපුල් තරංග වැනි ක්‍රීඩකයන්ටද සිදුවන්නේ සමුගැනීමෙන් පසුව ක්‍රිකට් ගොඩගැනීමට වාර්තා ඉදිරිපත් කිරීමටය.
දිනේෂ් චන්දිමාල්ට එක්දින සහ විස්සයි20 පිලේ ස්ථාන අහිමි කළ තේරීම් කමිටුව තිරිමාන්නට එක්දින පිලේ අවස්ථාව දුන්නේය. චන්දිමාල් ටෙස්ට් පිලට පමණක් සීමා කිරීම ද ‘පංතිය’ පිළිබඳ දැනුමේ ඌණතාවය මිස අන් කිසිවක් නොවේ.
ළහිරු තිරිමාන්න අසාර්ථක යැයි නැවතත් ඇස්පනා පිට ඔප්පු වී හමාරය. තිරිමාන්නට හැකියාව ඇත්තේ පරාජය වන බව ගව් ගණනක් සිට කිව හැකි තරගයක කාලය ගතකර උපරිමය අර්ධ ශතකයක් රැස්කිරීම පමණක් බව පාකිස්තානු තරගාවලියේදී දැකගත හැකි විය. ඒ හේතුවෙන් තේරීම් කමිටුවට රෙදි ඇඳගෙන නැවත තිරිමාන්න සංචිතයට එබිය නොහැක.
වර්තමාන තේරීම් කමිටුව තීරණ ගැනීමට ඇඹරෙන ගතියක් ද දැකිය හැකිය. ප්‍රවේගකාරී පිතිකරු නිරෝෂන් දික්වැල්ල එක්දින පිලේ ආරම්භක පිතිකරු ලෙස හම්බන්තොටදී සිම්බාබ්වේට එටරෙහිව පිට පිටම ශතක දෙකක් රැස්කරමින් වාර්තා පොත අලුත් කරන විට ඇතැම් විට වර්තමාන තේරීම් කමිටුවේ ඇතැමුන් වෙනත් රටක තරග නිලධාරියකු ලෙස කටයුතු කළා විය හැකිය.
දික්වැල්ලගෙන් නිසි ප්‍රයෝජන ගැනීමට බලධාරීන් වගබලාගත යුතුය. අවස්ථානුකූලව හැකි සෑම අවස්ථාවකදීම දික්වැල්ලගේ වේගවත් පිතිහරඹය සාර්ථකත්වයට යොදාගත යුතුය. එසේ නොමැතිව පෙරහැර ගියාට පසුව දික්වැල්ල කස ගැසීමට නොයෙදිය යුතුය. දික්වැල්ල එක්දින පිලේ අංක 5 ස්ථානයේ පන්දුවට පහරදීම පළ රහිත බව ඉන්දීය එක්දින තරගාවලිය ආසන්නතම සාක්ෂිය වේ. ඒ හේතුවෙන් නොපමාව දික්වැල්ල පිතිකරු ලැයිස්තුවේ ඉදිරියට ගෙන ආ යුතුව තිබේ.
රටකට සම්පත් තිබුණට පළ නැත. එහි පාලකයන්ට සම්පත් නිවැරදිව කළමණාකරණය කිරීමේ හැකියාව තිබිය යුතුය. එය ක්‍රිකට් ක්‍රීඩාවට ද එසේමය.
යොහාන් භාසුර, ඉන්දියාවේ සිට..