අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සංවිධානයෙන් නසීලන්තයේදී පැවැත්වෙන 12 වැනි වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘යොවුන් ලෝක කුසලානය’ ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය අද (14) අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතය. මෙහිදී ශ්‍රී ලංකාව ‘ඩී’ කාණ්ඩයේ පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තයට එරෙහිව තරග කරයි.
ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය ඇෆ්ගනිස්තානයට එරෙහිව ලබන බදාදා ද, තෙවැනි තරගය පාකිස්තානයට එරෙහිව ලබන සිකුරාදා ද, පැවැත්වීමට නියමිතය. කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිල මෙම තරගාවලියට පෙර සහභාගි වූ පුහුණු තරගය පරාජයට පත්විය.
මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමේදී ඇතැම් ක‍්‍රීඩකයන්ට අසාධාරණ සිදුවූ බවට චෝදනා එල්ල වන අතර එම අක‍්‍රමිකතාවට කණ්ඩායමේ ඇතැම් නිලධාරීන් ද සම්බන්ධ බවට ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්වේ.
මෙවර තරගාවලියට ටෙස්ට් තත්ත්වය ලැබූ රටවල් 12 සහ ටෙස්ට් තත්ත්වය නොලැබූ රටවල් 4 ක් සමගින් රටවල් 16 ක් සහභාගි වෙයි. සම්පූර්ණ තරගාවලියට තරග 48 ක් ඇතුළත් වන අතර එම තරග ක‍්‍රීඩාංගණ 7 කදී පැවැත්වීමට සැලසුම්කර තිබේ.
පළමු වටය කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ හතරක් යටතේ තරගාවලිය පැවැත්වේ. එහිදී කාණ්ඩ හතරේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් 8 ට ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලබයි.