2018 ජනවාරි 20 වන සෙනසුරාදා

ටෙස්ට් පිලේ උප නායකකම තරුණ ක්‍රීඩකයකුට අහිමි කිරීම

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 238

බංග්ලාදේශයට එරෙහිව මේ මස අගදී ආරම්භ වන ටෙස්ට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ උප නායකයා ලෙස ජ්‍යෙෂ්ඨ වේගපන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් පත්කිරීම පසුගිය සතියේ බොහෝ දෙනකුගේ කථාබහට ලක්ව තිබුණි. ටෙස්ට් පිලේ උප නායකත්වය තරුණ ක‍්‍රීඩකයකුට ලබා දුන්නේ නම් වඩාත් වැදගත් බව එහිදී වැඩි දෙනාගේ මතය බවට පත්විය.

ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම කමිටුව ද පැරණි ක‍්‍රමයටම යන බව මෙම උපනායක පත්කිරීමෙන් ද නැවතත් පැහැදිලි වේ. වර්තමාන තේරීම් කමිටුව ද තරුණ ක‍්‍රීඩකයකුට ස්ථාපිත වීමට අවස්ථාවක් නොදෙන බව පෙනේ.

ලක්මාල් ක‍්‍රීඩකයකු ලෙස ක‍්‍රීඩා කරන ආකාරය සහ ඔහුගේ දස්කම් පිළිබඳව කිසිවකුට දොස් කිව නොහැක. ඔහු පසුගිය වසරේ ශ්‍රී ලංකා පිලේ සාර්ථකම වේගපන්දු යවන්නා ද වේ. දකුණතින් වේගපන්දු යවන 30 හැවිරිදි ලක්මාල් පසුගිය කාලය පුරාම ආබාධයන්ට ලක්ව තරගාවලිය අතරතුරදී ඉවත්වීමට සිදුවිය. ලක්මාල් මේ වනවිට වසර 8 කට අධික කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කර තිබේ. ඔහුට උපරිම වශයෙන් තවත් වසර දෙක තුනක් ක‍්‍රීඩා කළ හැකිවේ යැයි උපකල්පනය කළ හැකිය. 

මෙහිදී තේරීම් කමිටුව කළ යුතුව තිබුණේ කුසල් මෙන්ඩිස් වැනි තරුණ ක‍්‍රීඩකයකුට උප නායකත්වය පවරා ඔහුට වගකීමක් ලබාදී සාර්ථකත්වයට පත්කිරීමේ උපායක් යොදා ගැනීමය. කුසල් මෙන්ඩිස් නායකත්වයට හුරුකිරීම එතරම් අපහසු කාර්යයක් නොවේ. කුසල්, ශ්‍රී ලංකා වයස 15 න් පහළ කණ්ඩායමේ සිට වයස 19 න් පහළ කණ්ඩායම දක්වා නායකත්වය දැරූ ක‍්‍රීඩකයෙකි. ඒ හේතුවෙන් නායකත්වය ඔහුට ආගන්තුක නොවේ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අවාසනාවට ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවට එවැනි දුර දැක්මක් නැත. වර්තමාන තේරීම් කමිටුව ද ‘කටින් බතල’ කුලකයට අයිතිව තිබේ. කෙසේ වෙතත් තේරීම් කමිටුව මාධ්‍ය හමුවලදී පවසන්නේ කෙටිකාලීන සහ දිගුකාලීන සැලසුම් ඇති බවයි.

තේරීම් කමිටුවට සුළු හෝ සැලැස්මක් තිබුණේ නම් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට උප නායකත්වයට පැවරීමේ අවස්ථාව තිබුණි. 27 හැවිරිදි දිමුත් මේ වන විට ටෙස්ට් තරග 50 කට ආසන්න වී සිටියි. සුරංග ලක්මාල් නැමැති ක‍්‍රීඩකයා පිළිබඳව ගැටලුවක් නැත. නමුත් ලක්මාල් නැමැති උප නායකයාගෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතයට ප‍්‍රයෝජනයක් නම් නැති තරම්ය. 

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:

දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උප නායක), දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, දුෂ්මන්ත චමීර, ලක්‍ෂාන් සඳකැන්, අකිල ධනංජය, ළහිරු ගමගේ සහ ළහිරු කුමාර

සටහන: විශේෂ ලියුම්කරුවකු විසිනි