බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් සහ එක්දින යන තරගාවලි දෙක ජය ලැබීම ශ්‍රී ලංකාවට නව ආරම්භයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ශ්‍රී ලංකා පිලට මෙතැන් සිට ජයග‍්‍රාහි මානසිකත්වය අඛණ්ඩව පවත්වා ගැනීමේ අභියෝගය පැවරී තිබේ. බංග්ලාදේශයට එරෙහිව තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක ජයක් ලබමින් සුපුරුදු දස්කම් අතර පැමිණියේය.
එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 194 ක දැවැන්ත ඉලක්කය ඕවර 16.4 කදී සම්පූර්ණ කිරීමෙන් බංග්ලාදේශය වසර කීපයක් පසුපසට ඇද දැම්මේය. එහිදී කුසල් මෙන්ඩිස් පන්දු 27 කින් ලකුණු 53 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය. නායක දිනේෂ් චන්දිමාල් අංක හත දක්වා පන්දුවට පහර නොදීම කැපී පෙනුණි. දසුන් ශානක අංක හතර ස්ථානයේ පන්දු 24 කින් නොදැවී ලකුණු 42 ක් රුස්කිරීමෙන් ජයග‍්‍රහණය පහසු විය. අංක හය ස්ථානයේ පන්දුවට පහරදුන් තිසර පෙරේරා පන්දු 18 කින් නොදැවී ලකුණු 39 ක් රැස්කිරීමෙන් බංග්ලාදේශ බලාපොරොත්තු සුන්විය.
මෙහිදී ශ්‍රී ලංකා පිල කිසිදු චකිතයකින් තොරව පිතිකරු ලැයිස්තුව වෙනස් කිරීම කැපී පෙනුණි. කුසල් මෙන්ඩිස්ට ආරම්භක පිතිකරු ස්ථානයත්, දසුන් ශානකට අංක හතර ස්ථානයක් ලබාදීම ප‍්‍රතිඵල ගෙන දුන්නේය. දෙරට අතර දෙවැනි සහ අවසන් විස්සයි20 තරගය අද (18) පැවැත්වෙන අතර ජයග‍්‍රාහී මානසිකත්ව රඳවා ගැනීමට නම් මෙම තරග ජයද වැදගත්ව තිබේ.
බංග්ලාදේශ තුන්කොන් තරගාවලියේදී ආබාධයකට ලක්වූ කුසල් පෙරේරාට මෙම විස්සයි20 තරග දෙක අහිමිවීම දැඩි පාඩුවකි. නායක ඇන්ජලෝ මැතිව්ස් ද එම තරග දෙකෙන් ඉවත්ව සිටියි. තුන් ඉරියව් ක‍්‍රීඩක අසේල ගුණරත්න ද ආබාධයකට ලක්වීමෙන් විස්සයි20 තරග දෙක අහිමිවිය. මැතිව්ස් ලබන 6 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වන නිදහස් කුසලාන තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටියි. ඔහු ඊට පෙර අන්තර් සමාජ තරග කීපයකට සහභාගි වීමට සැළසුම්කර තිබේ.
බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් අනාගතයට හිමිවූ ඵලදායි දේවල් අමතක කළ නොහැක. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ඩකාහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය දින තුනකින් නිමා කරමින් නැවතත් විශ්වාසය ගොඩනගා ගැනීමට සමත් වූහ.
රොෂේන් සිල්වා තරගාවලියේ වීරයා බවට පත්වීම ඔහුට මෙන්ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලට අනාගත සාර්ථකත්වයට වඩාත් වැදගත්ය. රොෂේන් මෙම ටෙස්ට් තරගාවලියේ ඉනිම තුනේදී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 235 ක් රැස්කිරීමට සමත් විය. මෙහිදී රොෂේන් රැස්කළ ලකුණු 235 මෙන්ම ඔහු අංක හය ස්ථානයේ සාර්ථක වීම වඩාත් වැදගත්ය. ශ‍්‍රී ලංකා ටෙස්ට් පිල කාලයක සිට මැද පෙළ ශක්තිමත් කිරීමට පිතිකරුවකු සොයමින් සිටියද අඛණ්ඩව ලකුණු අතරට පැමිණීමට කිසිදු පිතිකරුවකු අසමත්වීම ගැටලුවක් බවට පත්ව තිබුණි. රොෂේන්ට අඛණ්ඩව අවස්ථාව දීමෙන් ඔහුව මැද පෙළ ස්ථාවර කිරීමේ අවස්ථාව ඇති අතර එහි වගකීම ඇත්තේ පුහුණුකරු අතේය.
රොෂේන් කණ්ඩායමට පැමිණි කාලය හොඳ යැයිද ඇතැමෙකුට කිව හැකිය. වඩාත් ප‍්‍රබල කණ්ඩායම්වලින් තොර තරගාවලි දෙකකින් ගමන ආරම්භ කළ ඔහුට ඉදිරියේදී තවත් ඊට සමාන තරගාවලි තුනකට පමණ ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවේ. එය එසේ නොවුණහොත් පසුගිය වසර දෙකක තුනක කාලයක දක්‍ෂ ක‍්‍රීඩකයන්ට අත්වූ ඉරණම රොෂේන්ට අත්වීමට ඉඩ තිබුණි. අවිෂ්ක ප‍්‍රනාන්දු වැනි වඩාත් තරුණ ක‍්‍රීඩකයන්ට එක තරගයකින් අත්වූ තත්ත්වය එයට කදිම උදාහරණයකි.
පිට දඟපන්දු යවන අකිල ධනංජය, ඩකා ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී කඩුලු පහක් දවා ගනිමින් ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණය ඉක්මන් කිරීමට සමත් විය. එම තරගය අකිලගේ පළමු ටෙස්ට් තරගය වූ අතර එහිදී අකිල කඩුලු අටක් දවා ගත්තේය. අකිල මීට වසර කීපයකට පෙර පළමුවරට ජාතික කණ්ඩායමට පැමිණෙනවාට වඩා ඔහුගේ පන්දු යැවීමේ හැකියාවේ වෙනස්කම් රැසක් දැකිය හැකිය. ඔහු තුළ පන්දු මිශ‍්‍රණයක් ඇති බව සහ තණතීරුවේ හැසිරීමට අනුව පන්දු යවන ආකාරය වෙනස් කිරීමේ දැනුම දැන් අකිල සතුව ඇති බව පෙනේ. හතුරුසිංහ ඇතුළු කණ්ඩායම් කළමණාකාරිත්වය අකිල දෙවැනි තරගයට කැඳවීම ඔහු සාර්ථක වීමත් සමඟ වඩාත් සාධාරණීකරණය කළ හැකිය.
ආබාධයන්ට ලක්වීමත් සමඟ රංගන හේරත් තුළින් දස්කම් ඈත්වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. ඒ හේතුවෙන් තරුණ දඟපන්දු යවන්නකුට අත්දැකීම් ලබාදීම වඩාත් සුදුසු පියවරකි. ඩිල්රුවන් පෙරේරාට සාර්ථක වීම සඳහා රංගනගෙන් ලැබුණු සහයෝගය වඩාත් වැදගත් වූ ඩිල්රුවන් අවස්ථා කීපයකදීම පවසා තිබුණි. රංගන තව කොපමණ කාලයක් ක‍්‍රීඩා කරයිද යන්න සැකසහිතය. ඩිල්රුවන් සමඟ අනෙක් අන්තයෙන් පන්දු යැවීමට තවත් අත්දැකීම් ඇති පන්දු යවන්නකු සිටීම වඩාත් වැදගත්ය.
රංගන හේරත්, බංග්ලාදේශ දෙවැනි ඉනිමේදී දවාගත් කඩුලු හතරත් සමඟ ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු දවාගත් වමත් පන්දු යවන්නා බවට පත්වීම වඩාත් කැපී පෙනුණි. හිටපු ක‍්‍රීඩකයන් වාර්තාවට ගොස් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කඩා වැටුණු අඩිය පිළිබඳව අමුතුවෙන් කිවයුතු නැත. ඒ හේතුවෙන් රංගන හේරත් ඉදිරියේදී අවශ්‍යතාව මත පමණක් යොදා ගැනීමට ක‍්‍රිකට් පාලකයෝ වගබලාගත යුතුය.
එය එළඹෙන කොදෙව් සංචාරයේදී ක‍්‍රියාත්මක කිරීම එතරම් සුදුසු නොවේ. ශ්‍රී ලංකාව දැන් ලබා සිටින ජයග‍්‍රාහි මානසිකත්වය ඉදිරියට ගෙන යෑමට රංගනගේ දායකත්වය වඩාත් වැදගත්ය. ඒ සඳහා සුදුසු අවස්ථාව තීරණය කිරීමට ක‍්‍රිකට් පාලනය කරන ඇත්තන්ට ඥානය පහළ විය යුතුය.
♦ සටහන: යොහාන් භාසුර