2018 මාර්තු 17 වන සෙනසුරාදා

සුගතදාස ධාවන පථය අද නොවේ හෙට

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

සුගතදාස ක‍්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථයට ‘බාලගිරි දෝෂය’ වැළඳී ඇති බවට මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ. ඉදිරි මාසක පමණ කාලයේ දැඩි වර්ෂාවක් ඇද හැලුණහොත් ‘බාලගිරි දෝෂය’ දෙගුණ තෙගුණ විය හැකි බව තතු දන්නෝ පවසති. සුගතදාස ක‍්‍රීඩාංගණයේ කෘත‍්‍රිම ධාවන පථයේ වැඩ අවසන් කර පසුගිය මස 28 වැනිදා ක‍්‍රීඩා අමාත්‍යංශයට බාරදීමට නියමිතව තිබුණද එහි වැඩ අවසන් කිරීමට තවත් මාස කීපයක් ගතවනු ඇතැයි පැවසේ.

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය ලබන මැයි මස 5 සහ 6 දෙදින ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අතර වර්ෂාව අඛණ්ඩව පැවතුණහොත් එම තරගාවලියට ක‍්‍රීඩාංගණය ලැබීමද අවිනිශ්චිත වී තිබේ. කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තේරීම් තරගාවලිය මේ මස 27 සහ 28 දෙදින පැවැත්වීමට සුගතදාස ක‍්‍රීඩාංගණය ලැබෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ එම තරගාවලිය ද දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට සූදානම් වන බව දැනගන්නට තිබේ. 

ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියද මේ මස අගදී පැවැත්වීමට නියමිත අතර එයද දියගමට ගෙන යෑමට සිදුවී ඇති බව වාර්තා වේ. දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේ ධාවන පථයද දැඩි අබලන් තත්ත්වයක පවතින බවත් එහි තරග පැවැත්වීමෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ආබාධයන්ට ලක්විය හැකි බව මලල ක‍්‍රීඩා පුහුණුකරුවෝ පවසති.

සුගතදාස ක‍්‍රීඩාංගණයේ ධාවන පථයේ ඉදිකිරීම් අවසන් කිරීමට තවත් මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි වාර්තා වේ. මෙම සටහන තබන මොහොත වනවිට සුගතදාස ධාවන පථයේ පළමු තට්ටුව (කළු පැහැති තට්ටුව) පමණක් යොදා ඇති බව දැනගන්නට තිබේ. එහි තවත් තට්ටු කීපයක් දැමීමට ඇති බවත් ඉන් පසුව ධාවන පථය ඇදීමේ කටයුතු කළ යුතු බවත් මලල ක‍්‍රීඩා පුහුණුකරුවෝ පවසති.

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩාව වසර තුනකට වැඩි කාලයක් තිස්සේ ජාත්‍යන්තර මට්ටමේ ධාවන පථයක් නොමැති පසුවෙයි. සුගතදාස ක‍්‍රීඩාංගණයේ ධාවන පථය හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ කාලයේ රුපියල් මිලියන ගණනක දැවැන්ත මුදලක් වැයකරමින් නැවත එලුවද එය වසරක් හෝ ප‍්‍රයෝජනයට ගැනීමට නොහැකි විය. 

වසර තුනකට අධික කාලයකට පසුව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මැදිහත් වීමෙන් නව කෘත‍්‍රිම ධාවන පථයක් සඳහා මීට වසරකට පමණ පෙර ටෙන්ඩර් කැඳවූ අතර එහිදී ඉදිකිරීම්කරුවකු තෝරාගත්තද කැබිනට් මණ්ඩලය එම ටෙන්ඩරය අහෝසි කළේය. ඉන්පසුව නැවතත් ටෙන්ඩර් කැඳවීමෙන් වර්තමාන ඉදිකිරීම් ආයතනයට ධාවන පථය ඉදිකිරිමේ කටයුතු බාර කළේය. එම ටෙන්ඩරය රුපියල් මිලියන 350 කට අධික බව දැනගන්නට තිබුණි. 

♦ වරකාගොඩ ගමගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00